Hela Rahas

Hela Rahas Official Web Portal

ගස්වැල් වල ඇති ගුප්ත බලය

  • ගහකොළ නැති ලෝකයක් කෙසේ වේවිද. ගස් පිරිසිදු වාතය ගෙඩි, මල්, කොළ අපිට ලබාදෙන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. ඒත් එයට කෘතගුණ දැක්වීම අපේ යුතුකමයි. කෘතගුණ දැක්වීමට ඒ ගස්වැල් කපා දැමීමද කළ යුත්තේ?
  • පැරණි පඬිවරුන් හා සෘෂිවරුන්ද වෘක්‍ෂලතා වල ඇති මේ සුවිශේෂී ජීව ගුණය මැනවින් අවබෝධ කරගෙන සිටි බව පරණ පොත් පත්වලින් සොයා ගන්න පුළුවන්. සියලුම ගුප්ත විද්‍යා කටයුතුවලදී ද ආයුර්වේදයේදී වෘක්‍ෂලතා උපයෝගී කරගෙන ඇත. රෝග නිවාරණයට ග්‍රහ අපල නැසීමට භූත උපද්‍රව නැති කිරීමට මෙන්ම දේව ආකර්ෂණය ලැබීමටද ඒවා පිහිට කරගෙන ඇත.
  • අපගේ ආගම වූ බුද්ධාගම වෘක්‌ෂයට ශ්‍රේෂ්ඨ ස්‌ථානයක්‌ උරුම කරදී තිබේ. බෞද්ධයන් තරම් ගසට ගරු කරන ජාතියක්‌ ලොව නෑ. බෞද්ධයෝ ජීවමාන බුදු රදුනට මෙන් බෝධි වෘක්‌ෂයට වඳිති පුදති. ජය ශ්‍රී මහා බෝධි රාජයා යනුවෙන් බෝධි වෘක්‌ෂය රාජ්‍යත්වට පත්කර ඇත. ලොව පහල වන සියලු බුදුවරු කුමන හෝ වෘක්‍ෂයට පිටදී බුදු බව ලබති. ඒ නිසා බොහෝ වර්ගවල ගස්‌ පිදුම් ලැබීමට සුදුසුවී ඇත. අටවිසි බුදු රදුන් පිටදුන් වෘක්‍ෂද විසි අටක්‌ තිබේ. ඒ නිසා බෞද්ධයන්ට ගස්‌ යනු පූජනීය වස්‌තුවකි.
  • ඒ වගේම අපේ රටේ ප්‍රධානම සංස්‌කෘතික මංගල්‍ය වන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී ශුභ නැකතට හිසට – පයට කොළ තබා කොළ යුෂෙන් තැනූ නානු ගා තෙල් ගා නිරෝගී බව දීර්ඝායුෂ පතනවා.පැරණි සෘෂිවරු විවිධ ගස්‌වල ඇති මෙම ශක්‌තිය හඳුනාගත් අතර ඒ පිළිබඳ විස්‌තර ග්‍රන්ථවලට ඇතුළත් කළා. නෙත් සිත් සනහන පැහැයක්‌ ගස්‌වල කොළවල තිබේ. රෝහල්වලට කොළ පැහැය යොදන්නේ ඒ නිසාය.
  • නිල්වන් ගහකොළවල දර්ශනය එහි ඇසුරෙන් ලැබෙන නැවුම් පිරිසිදු සුළඟ හා සිසිලස නෙත සිත සනසවයි. ඉන් එහා ගිය ගුප්තවූ ශුභාශුභ ප්‍රතිඵල ද මේ නිසා ඇතිවන බව පසක්‌ කළ රුසිවරු ගෙමිදුලෙහි හා ගෙඋයනෙහි වගා කළ යුතු ගහකොළ පිළිබඳ විවිධ උපදෙස්‌ දී ඇත.
  • අඹ සාදික්‌කා, මිදි,, .මදටිය, මූනමල්. සපු, කෙසෙල්, දොඩම්, දෙලුම්, කොසඹ, පුවක්‌, කොස්‌, තල්, පොල්, පලොල්, දේවදාර බඳුවදමල්. බෝලිද්ද, , සමන්, නෙලුම්, මහනෙල්. සපු, දුනකේ, වැටකේ ගෙඋයන ඉදිරිපස වැවීමෙන් නිරෝගීබව, නුවණ, ආයුෂ වැඩෙන බව දක්‌වා ඇත.
  • මදුරුතලා මදුරුවන් පලවා හරී
  • අඳුකොළ, සස්‌සඳ ඵලවරා, නාගයන්ට එරෙහි වේ.
  • කුප්පමේනිය ගස බළලාට දිව ඔසුවකි.
  • ගෙවත්තේ කලාඳුරු තිබීම රෝග නැතිවීමට හා ගව සම්පත් වැඩිවීමටත් ධනය ලැබීමටත් හේතුවේ. එය සුවඳ හමන ඔසු පැලෑටියකි.
  • දෙමට, දෙහි, අන්දර, සූරිය, කැටකෑල වැනි ගස්‌වර්ග තිබීමෙන් යක්‍ෂ, ප්‍රේත උවදුරු දුරුවේ.
  • ගෙවත්තේ ඊතණ තිබීම ශුභ ලෙස දක්‌වා තිබේ. ඊතණ මංගල සම්මත පැළෑටියක්‌ වන අතර දේව ප්‍රසාදය ලැබේ. ඊතණ ඇති බිම ජලය රඳයි. ආයු වැඩීමට එය බලපායි.
  • කොසඹ හා අඹවල හෙණ වළක්‌වන ශක්‌තියක්‌ද ඇතැයි පැවසේ. එසේම රෝග නාශක බලය සහිත නිසා බෝවන රෝග වළක්‌වයි. පත්තිනි දෙවියන්ගේ බලයද එහි තිබේ.
  • නමුත් අඹ හා ඇසතු ගස්‌ ගෙය ඉදිරිපස නොවැවිය යුතු යයි ඇතැම් පොත්වල සඳහන් වේ. කෙසෙල් ගස්‌ද ගෙයි දොරකඩ නොවවන ලෙසට කියා ඇත. නේත්‍ර ආබාධවලට ඔසුවක්‌ වූ දෙලුම් ගෙය ඉදිරිපිට වැවීම ශුභයෑයි කියා තිබේ. පොල්, නවසි, බෝදිලි ගෙයි ඉදිරිපස වැවීමට කියා ඇතත් ගොන් තැඹිලි, රත් තැඹිලි, රන් තැඹිලි ගෙයි දොරකඩ වැවීම අශුභ බව කියා ඇත. ඒවා දේවාල, පන්සල් ආදී සිද්ධස්‌ථාන, රජ මැදුරු හා පොදු ස්‌ථානවලට සුදුසුය.
  • හීරුස්‌ස තොලබෝ දෙවර්ගයද මංගල සම්මත පැළෑටිය. ඒවා ගෙවත්තක තිබීමෙන් ශුභ ඵල උදාවේ.
  • බෝ, නුග, කරඳ, කොසඹ, තෙලෙඹු. සඳුන්, කුරුඳු, දේවදාර, පස්‌ පැඟිරි, කරපිංච, නා යන ගස්‌වල දර ගෙවත්තේ හෝ මුළුතැන්ගෙයි දැල්වීම අහිතකර විපත් ගෙන දෙනබව කියනවා.
  • ගෙවත්තේ වැවීමට අශුභ ගස්‌ වර්ගද ඇත. ඉඹුල්, ඇඹුල් දොඩම්, ප්‍රවඟු, බෙලි, ඇහැල, කිනිහිර, සියඹලා, කොලාං, හැඩවක, බුරුත, කිහිරිබුතැස්‌, තිබොල්, කරඳ, සාරණ, ඇට්‌ටේරියා, පියං, පෙනෙල, ගොරක මේ ගණයට අයත්වේ. මේවා වැවීමෙන් නොයෙක්‌ හිරිහැර අපල කරදර පැමිණේ. මෙම ගස්‌ වර්ග තිබුණ බිමක නව නිවසක්‌ තනනවිට එම ගස්‌ මුලින්ම උදුරා පස්‌ද ඉවත් කළ යුතු යෑයි කියා ඇත. එහි දොස්‌ එතරම්ම උග්‍ර බව පැවසේ.
  • එරබඳු, සුදු අරලියා, කජු, වතුසුදු ආදී ගස්‌ වර්ගද ගෙවත්තේ නොවැවිය යුතු බවට උපදෙස්‌ දී ඇත. එයින් යස ඉසුරු නැතිවේ. කරදර, හිරිහැර ඇතිවේ.
  • මල් වර්ග අතර තද රතුපාට මල් ගේ ඉදිරිපස වැවීම අශුභය. රාජභය හා අනතුරු ආපදා සතුරු කරදර ඇතිවේ. සුදු අරලියා වලින් දුක ශෝක ඇති කරයි. විශේෂයෙන් වද මල් ගස්‌ වැවීමෙන් වද හිංසා ඇතිවන බව පැරණි මතයකි.
  • කටු සහිත ගස්‌ වර්ග ගේ ඉදිරිපස හෝ මිනිසුන්ට දර්ශනය වන තැන්වල වැවීම ශුභ නැත. මේ නිසා ගෙහිමියන්ට අවුල් වියවුල් ඇතිවේ. පතොක්‌ ආදී ගල් මුඩුබිම් ඇසුරුකොට වැවෙන පැළෑටි වගා නොකළ යුතුය. ඇසේ හිසේ රෝග ඇති කරයි. කරදර හිත් තැවුල් වැඩිවේ. ගව සම්පත ගොවිතැන් පාලුවේ.
  • වැල් රුක්‌අත්තන අශුභය. පිච්චමල් වවනවා නම් එම බිම ඉතා පිරිසිදුව තැබිය යුතුය. බෙලි කලුවර සඳුන් මදාරා වැනි ගස්‌ දේවතාගෘහිත වන බැවින් අශුභය.
  • වඳ පීදුනු ගස්‌ ගෙවත්තේ තිබීම ශුභ නැත. පිල්ල සෑදුන ගස්‌ද අශුභය. එසේම යම් ගසක්‌ අස්‌වාභාවික ලෙස පීදී ගෙඩි හටගැනීමද අශුභය.
  • කෙසෙල් ගසක මැදින් පිපිරී මුහ වැටීම පොල් ගස්‌වල අතු ලියලීම, තලමල් පිපීම වැනි දේ තම ගෙවත්තේ සිදු වුණොත් සියලු දෙනාටම අපල බව කියනවා.