ලංකාවේ අදටත් භාවිතා වෙන කුල වර්ග 15ක්

Articles History

 වර්තමාන සමාජ සන්දර්භය තුළ එතරම් කථිකාවතට බඳුන් නොවුණ ද ලාංකීය සමාජය තුළ දීර්ඝ කාල පරාසයක සිටම මුල් බැස ගෙන ඇති සාම්ප්‍රදායික  සංකල්පයකි කුල භේදය. පත්තරයක මංගල දැන්වීමක් ගත් විට සම කුල මනාලයෝ  මනාලියෝ සොයන දැන්වීම්, දේශපාලන ,ආගමික ආදී ක්ෂේත්‍රවල  කුලය පදනම් කොට ගෙන තිබෙන ඝට්ටන කුල භේදය  තවමත් සැලකිය යුතු ලෙස ලාංකීය සමාජයට  බලපෑම් කරන බවට සාධක වේ. රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව ,සක්කාරං,සෙංකොට්ටං ආදී පොත් කියවද්දි කුලය නිසා අසරණ වූ මිනිස්සුන්ගේ කටුක ජීවිතය අපි ඉදිරියේ මැවී පෙනෙනවා.නමුත් අදටත් එදා  තරම් නොවුණත් කුල භේදය සැලකිය  යුතු ප්‍රමාණයකින්  ලාංකීය සමාජය ගිල ගෙන සිටී.

 දකුණු ආසියාතික සමාජවලට ආවේණික වූ සුවිශේෂීත්වයන් අතර කුල භේදයට ප්‍රධාන  ස්ථානයක් අද වන විටත්  හිමිව තිබේ.පුද්ගලයාගේ උස් පහත් බව,  සමාජ ස්ථරයේ පුද්ගලයා අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ප්‍රධාන  සාධකයක් ලෙස  කුලය සමාජගත වී තිබේ.විවිධ මානව විද්‍යාඥ්ඥයින්,සමාජ විද්‍යාඥ්ඥයින්  කුලය සම්බන්ධයෙන් විවිධ නිර්වචන ඔවුන්ගේ විවිධ පර්යේෂණ ග්‍රන්ථවල  මෙන්ම ලිපිවල ද දක්වා තිබේ.

A.L Kroeber නම් මානව  විද්‍යාඥ්ඥයාට  අනුව කුලය නම්,  දැඩි වූද උග්‍ර වූ ද ජන්මයෙන් නියම කරන ලද්දා වූද පුද්ගල චංචලතාවයට අවකාශ නොදෙන්නා වූ ද ආයතනක් බවයි. (අමරසේකර,1988:10.)  Hutten නම් මානව විද්‍යාඥ්ඥයාට අනුව කුලය සාම්ප්‍රදායික  වූ රැකියාවන් ආශ්‍රිත  වූ දෙයක් ලෙසත් අභිමානය කේන්ද්‍රීය  කරගත් පද්ධතියක් ලෙසත් දක්වා තිබේ. (අමරසේකර,1988:12.)  මානව වංශ විද්‍යාත්මකව  සහ ඓතිහාසික සාක්ෂි ඇසුරින් කුල ක්‍රමය  පිළිබඳව  අධ්‍යයනය  කරනු ලැබූ රැල්ෆ් පීරිස් සහ බ්‍රයිස්  රයන් කුල ක්‍රමය  විග්‍රහ  කරන ලද්දේ වැඩවසම් සමාජ ආයතනයක් ලෙසටයි. 

කෙසේ වෙතත් මුල් යුගයේ ඉතිහාසඥයන්ගේ මතය වී තිබුණේ සිංහල කුල ක්‍රමය  හින්දු කුල ක්‍රමයෙන්  බිඳී ආ ආයතනයක් බවයි.එකල ලංකාව තුළ බ්‍රාහ්මණයන්  විටින් විට වාසය කර තිබීම, දකුණු ඉන්දීය ආක්‍රමණ හා විවිධ සංක්‍රමණවල බලපෑම් ඇසුරින්  මෙරට කුලවාදය ක්‍රමයෙන්  මුල් බැස ගැනීමට හේතු වී ඇති බවට ඔවුන් කරුණු ඉදිරිපත් කරයි.එසේම නොයෙක් තරාතිරම්වල චෝලීය ජනයා රාජ අනුග්‍රහයෙන්  සිංහල ස්ත්‍රීන්  පාවාගෙන සිංහලයන් වීම නිසා ඇති වූ විපර්යාසයන් ද මේ සඳහා යම් බලපෑමක් කරන්නට ඇත. නමුත් පැරණි සාහිත්‍ය මූලාශ්‍ර  හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අධ්‍යයනයෙන්  පසු වත්මන් ඉතිහාසඥයන්වැඩි දෙනා ඉදිරිපත් කර ඇත්තේ සිංහල කුල ක්‍රමය උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව ,ලංකාවේ සමාජ දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි.(ද.සිල්වා,1998:147)

විජය රජුගේ ඇවෑමෙන් මෙරට කුල පදනම මුල් බැසගත් අතර මහින්දාගමනයත් සමඟ මෙරටට පැමිණි විවිධ කර්මාන්ත පදනම් කර ගත් ශේණිවලට  අයත් ජනයා විසින් එය වඩාත්  සංකීර්ණ ලෙස ව්‍යාප්ත  කළ බව පෙනේ. පෙර සිංහල සමාජය ආර්ය සමාජයක් නැතහොත් උතුම් ජාතියක් විය.එම සිංහල සමාජය රජවරු,සේනාධිපතිවරු,විවිධ ශිල්පීන් සහ පොදු ජනයා එක්ව ගෙන ගිය ආර්ථික හා සමාජ ක්‍රමයකි . ලංකාවේ කුල ක්‍රමය  ස්ථාපිතවීමෙහිලා රාජ්‍ය  මැදිහත් වීම ප්‍රමුඛ  වූ බව ඓතිහාසික මුලාශ්‍රවලින්  පෙනේ. දැඩි ප්‍රජාතන්ත්‍රවාදී  වූ මෙම පාලන ක්‍රමය  ජන සම්මතවාදී ක්‍රමයක්  විය.

බෞද්ධ සූත්‍ර  දේශනාවක් වන අග්ගඥ්ඥ  සූත්‍රයේ  දැක්වෙන ආකාරයට  රජු ඇතුළු පාලනයට සම්බන්ධ නිළධාරීන් පොදු ජනතාවගේ චන්දය මත පත් කර ගත්හ.එබැවින් රජු මහා  සම්මත නම් විය. එම සූත්‍රයට  අනුව කුලය නමැති නිර්ණායකය වෘත්තීය පදනම් කොට ගත් එකක් ලෙස පෙන්වා දේ.ලාංකීය ගිහි සමාජයේ ද ජනතාවගේ කැමැත්ත අනුව රජු, සෙනෙවිරද්,ඈපා,මාපා, මහලේනා, මහ රැටිනා, අනුනා, සිටුනා, සිරිත් ලේනා, දුලේනා, වියන්නා, මහ වෙදනා, මහ නැකතිනා, දහම් පසක්නා ආදී නිළධාරීන්, ගම් ලද්දු, දස ගම් ඇත්තන්,රට ලදු, භාණ්ඩාර පොතුන්, සම්දරු, කුඩසලා වැනි  පහළ නිළධාරීන් ද තෝරා පත් කර ගත්හ.

මෙකල වහල්ලු කියා කොටසක් නොසිටි බවත්, වැසියන් අතරින් තෝරාගත් තිස් දෙනෙකුගෙන් යුත්  මන්ත්‍රණ  සභාවක් රජුට පැවති බවත් සඳහන් වේ. ගම් ලද්දන් පිළිබඳව බදුලු ටැම් ලිපියේ සඳහන් අතර ගම් ලත් නායකයා වෙළදපොළට පැමිණි විට පෙර මගට ගොස් පඩුරු  විසි පහ ඔහුට දිය යුතු බව එහි සඳහන් වෙයි.වේවැල්කැටිය සෙල්ලිපියෙන් දස ගම් ඇත්තන්ගේ බලතල ගැන සඳහන් වේ. පොදු ජනයාගේ  සේවය අවශ්‍යවන  විශාල ඉදිකිරීම් ආදියේ ද දස දහස් ගණන් වූ කම්කරුවන්ට වැටුප්, ආහාර පාන  සහ වස්ත්‍රාභරණ  දුන් බව රුවන් වැලි සෑය, ලෝවාමහාපාය ආදී ඉදිකිරීම්වලින් පැහැදිලි වේ. රුවන්වැලි සෑය ඉදිකළ ප්‍රධාන  ශිල්පියාට කහවණු 12000ක් ද කහවණු දහසක් වටිනා මිරිවැඩි සඟලක් ද,   පිළි සඟලක් ද, රජු විසින් දෙන  ලද බව සඳහන්වීමෙන් පැහැදිලි වන්නේ මහජනයාට ඇඳීම පැළඳීම සම්බන්ධයෙන් කුල තහංචි නොතිබුණ බවයි. 

ක්‍රි .ව.පළමු වන ශත වර්ශයට අයත් ඉළුක්වැව සෙල්ලිපියට අනුව සඳහන් වන්නේ දාසයෙකු සහ දාසියක විසින් සඟ රුවන වෙත ලෙනක් පූජා කරන ලද බවයි.පිදුරංගල සෙල්ලිපියකින් ද දාසි ස්ත්‍රියක්  ලෙනක් පූජා කිරීමක් පිළිබඳව සඳහන් වෙයි.සැස්සේරුව ශිලා ලිපි දෙකක නාට්‍ය  ශිල්පීන්  පූජා කළ ලෙන් පිළිබඳව සඳහන්  වේ.මෙම පුරාවිද්‍යාත්මක  සාධකවලට අනුව පැහැදිලි වන්නේ කුලය හා  ස්ත්‍රීභාවය  පුද්ගලයාගේ තත්වය තීරණය නොකරන ලද බවයි.

ශ්‍රී  මහා බෝධීය සමඟ පැමිණි පිරිස් අතර පට්ටි කුල අටක් ද,  මල්කරුවන්, උද්‍යාන  පාලකයින්, ඕසදවටු (සුවඳ විලවුන් නිෂ්පාදනය කරන්නන්) වැනි පිරිස් උත්තර  භාරතයේ සිට මෙරටට පැමිණි අතර වැඩවසම් ක්‍රමයක්  නොතිබුණු යුගයක පැමිණි මෙම පිරිස් ශිල්ප ශ්‍රේණි  නම් විය. ආර්යයින් වූ මොවුන්ගෙන් විශාල පිරිසක් පසු කාලීනව ගොවි කුලයට අන්තර්ග්‍රහණය   වූහ. සැබැවින්ම සිංහල ගොවි කුලයක් ලෙස හැඳින්විය හැක්කේ මොවුන් ය.නමුත් මහ වංසයේ සහ සිංහල බෝධි වංසයේ මෙම කුලය  දක්වා ඇත්තේ සැබැවින්ම වැඩවසම්වාදී කුලයක් ලෙස නොව පවුල් සංඛ්‍යාවන්  වශයෙනි. ලාංකීය පුරාණ ආර්ය සමාජයේ කුලයන් විනා කුල භේදයක් නොතිබුණි.

ලාකීය සමාජය තුළ කුල පදනම මෙසේ ගොඩ නැගුණ ද,වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක්  බිහි වූයේ මහනුවර අවධියේ දී ය. ඒ අනුව ලංකාවේ කුල ක්‍රමය  ස්ථාපිත වීම සඳහා රාජ්‍ය  මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍රවලින්  පැහැදිලි වේ. රජ මාළිගාවේ  හා රාජ්‍යයේ  විවිධ අවශ්‍යතා  හා  සේවාවන් ලබා ගැනීම පිණිස කුලය යොදා ගැනීම මහනුවර යුගයේ දී දක්නට ලැබේ.සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල  කුල බද්ද නම් සංවිධානයකට අනියුක්ත කිරීම ද යම් යම් කුලවලට දඩුවම් වශයෙන්  පුද්ගලයන්ව කුලයෙන් පහත හෙළීම ද රජවරුන්ගේ වරප්‍රසාදයක්  විය.

මහනුවර යුගයේ දී කුල ක්‍රමය  හා ඉඩම් භුක්තිය අතර ඉතා සමීප සබඳතාවයක් පැවති අතර  ඉඩම් භුක්තිය රාජකාරී ක්‍රමය  යටතේ පැවතුණි. කුලහීනයන් තම කාර්යයන් ඉෂ්ට කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකා ගෙනය.විවිධ වාර්ෂික චාරිත්‍ර  විධිවල දී  නිල වශයෙන් කළ යුතු වූ  ප්‍රමුඛතා  පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්ෂ සමාජ තත්ත්වය පැහැදිලිව දැක්විණි.

කුලය ආර්ථික ක්‍රමයක්  වශයෙන් මෙන්ම ශ්‍රම  විභජන ක්‍රමයක්  වශයෙන් ද හදුනා ගත හැකි අතර සෑම කුලයකටම ආවේණික වූ වෘත්තියක් ඇත. කුලය අනුව එකිනෙකා සේවය ලබා ගන්නා අතරම සේවය ලබා දේ. උසස් කුලවල ජනයා පහත් කුලවල ජනයාගෙන් සේවය ලබා ගත්ත ද  ඔවුන් වෙනුවෙන් සේවයේ නිරත වේ.  සිංහල කුල ධූරාවලිය තුළ ද  විවිධ කුලවලට ආවේණික වූ පාරම්පරික වෘත්තීන් තිබේ. ඉහළම කුලය ලෙස සලකන්නේ ගොවිගම කුලය වන අතර සිංහල සමාජයේ කුල 15ක් පමණ පැවත ඇත.

  • 1.ගොවිගම –ඉඩම් හිමි ප්‍රභූන්  රදලයන් ,ගව පාලනය කළ පට්ටීන්,ගොවියන් මෙම කුලයට අයත් ය. සාහිත්‍ය  තුළ මෙය ගහපති කුලය ලෙස හදුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන්  උපන් ජනයා ලෙස ඉතිහාසයේ සඳහන්  වී ඇත.
  • 2. කරාව (මසුන් මරන්නන් )
  • 3. සලාගම (කුරුඳු තලන්නන්)
  • 4. දුරාව (රා මදින්නන්)
  • 5. හුණු (අළු හුණු කර්මාන්තය)
  • 6. ආචාරි/ගල්ලදු/නවන්දන්න (ලෝකුරු වැඩ)
  • 7. හේන/ රදා (රෙදි ඇපිල්ලීම)
  • 8. වහුම්පුර/ හකුරු (හකුරු  සාදන්නන්)
  • 9. කුඹල්/බඩහැල (වළං සාදන්නන්)
  • 10. දුර (ශ්‍රී  මහා බෝධිය රකිනනන් /ඇත්ගොව්වන්)
  • 11. නැකැති/බෙරවා (නක්ෂත්‍ර / නැටුම්)
  • 12. බත්ගම /පදු (සේවකයෝ/බර උසුලන්නන්)
  • 13. ගහල (මල බෙර ගසන්නන්)
  • 14. කින්නර (පැදුරු වියන්නන්)
  • 15. රොඩී/හුලවාලි (හිගමන් යදින්නන්/කොහු ඉදල් සදන්නන්)

කුලය  එකල පුද්ගලයන්ගේ ඇදුම් ආයිත්තම් තීරණය කිරීමට බලපෑ සාධකයක් වූ අතර වංශවත් නොවූ සාමාන්‍ය මිනිසුන්  දණින් මදක් පහත් වන සේ කෙණ්ඩය අඩක් වැසෙන සේ  ද, ස්ත්‍රීහු  බොලට දක්වා ද වස්ත්‍ර හැඳ එයම කරකවා  ළපැත්ත වැසෙන සේ  පොටක් සේ කරේ ලා ගනිති. අඩු කුලයේ ස්ත්‍රීන්  දණහිස දක්වා රෙදිකඩක් හැඳ උඩුකය නග්නව තබා ගත යුතු විය.අසනීපයක් හෝ ශීතයක් ඇති වුවහොත් පමණක් රෙදිකඩක් පොරවා ගැනීමට තහනමක් නැත. ඇදුම් පැළැඳුම් සම්බන්ධයෙන් පමණක් නොව ආහාර ගැනීම,ලිංගික කටයුතු සහ සමාජීය සබඳතාවලදී ද විවිධ කුල අතර නීති රීති සහ සිරිත් විරිත් පවතී. කුල ක්‍රමය  යටතේ උසස් කුලයක සාමාජිකත්වය ලබා ගැනීමට පහත් කුලයක අයෙකුට අවස්ථාවක් නොමැති අතර ජීවිත කාලය පුරාවටම එකම කුලයට අයත් වේ.  

වර්තමානයේ ජන්මයෙන් පුද්ගලයාට කුලය උරුම වුවද අතීතයේ එය වෘත්තීය මත පදනම් විය.මෙම කුල ධූරාවලිය හමුවේ එකල අඩු කුලේ ජනතාව බොහෝ පීඩාවන්ට ගොදුරු වූ බවට තොරතුරු හමුවේ. විශේෂයෙන්ම යටත් විජිත පාලන කාලයේ දී කුල භේදය ජනතාව බොහෝ සේ දුක්ඛිත තත්ත්වයට ඇද දමා තිබුණි. සලාගම කුලයේ අයවලුන් දැඩි පීඩාවට පත් කරමින් කුරුදු තැලීමට යොදා ගැනීම ඒ අතර වේ. වත්මනෙහි බොහෝ විද්වතුන් කුලය විවේචනයට ලක් කළ ද ඒ සම්බන්ධ විවිධ කතිකා ගොඩනැගුව ද විවාහ කටයුතු, වර්තමානයේ සංඝ සමාජයේ පවතින නිකාය භේදය , කුල අනුව බෙදුණු මන්ත්‍රී  ආසන , ආදී කරුණුවලින් කුල භේදය තවමත් මේ සමාජයේ ජීවමානව පවතින බවට සාධක සපයයි. මෙසේ සමාජගත වූ කුල භේදය අදටත්  නව ප්‍රවණතා  හමුවේ වෙනස්වීම්වලට බඳුන් ව තිබුණ ද ලාංකේය සමාජය තුළ කුල  ක්‍රමය  සම්පූර්ණයෙන්ම මිය ගොස් නැත.