දවසට එක වේලක් වළදා සිල් රැකී දඩගමුවේ නායක හාමුදුරුවන්ගේ කතාව

Articles
  • ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල රජ මහා විහාරය අසලින් වැටී ඇති ගලපිටමඩ පාරේ යන විට අලවල හන්දිය හමුවෙනවා. එහි ඇති ගම්බද පොඩි කඩමණ්ඩියක් ළඟ බැස යන පුංචි දොළ පාරකින් එගොඩ වී මහකන්ද ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය වැටී ඇත. ඒ පාර ගොඩක් දුෂ්කරයි. වනය අතරින් කඳු මුදුනට පාර වැටී ඇත. මීටර් හත් අටසීයක් එපිටට යන විට හමුවන්නේ රූස්ස ගස්වලින් පිරීගිය මහ වනයයි.
  • ඉර එළිය සමහර තැන්වලින් පොළොවට යාන්තමට වැටෙනවා දකින්න පුළුවන්. ඒ නිසා කැළෑව පුරා කිසියම් අඩ අන්ධකාරයක් ඇත. මහකන්ද සේනාසනය ඇති වන අරණේ විවිධත්වයක් දකින්නට පුළුවන්. එක ප‍්‍රදේශයක් පයිනස් ගස්වලින් වැසී ගිය රටේ මධ්‍යම කඳුකරයේ ශීත ප‍්‍රදේශයට සමානයි.
  • තවත් පැත්තක් පහතරට සිංහරාජ වන අරණ මෙන් සදාහරිත ස්වරූපයක් පෙන්නුම් කරයි. වාහනයකින් යනවා නම් මහකන්ද ආරණ්‍ය සේනාසනයේ එක්තරා සීමාන්තයකට පමණක් යා හැක. එතැන් සිට කඳු මත්තට මහ ගස් කළු ගල් ශිඛර වලින් සම්පූර්ණයෙන් වැසී ගිය ප‍්‍රදේශය ඔස්සේ පඩි පෙළක් නැග යන්න ඕන.
  • බොහෝ රූක්ෂ ප‍්‍රතිපත්ති රැකි, සිල්වත් ගුණවත් හිමිනමක් හැටියට දඩගමුවේ හිමියන් ප්‍රසිද්ධයි. අලවල ගමේ මිනිස්සු මේ හාමුදුරුවන්ගෙ හොඳ විවිධ ආකාරයෙන් කියනවා. ඉතිං ගමේ මිනිස්සු කියන්නෙ දඩගමුවේ නායක හාමුදුරුවෝ දැන් අවුරුදු හතළිහකට විතර කලින් මහ කන්දෙ වැඩ ඉඳල තියෙනවා. උන්වහන්සේ සසර කෙළවර කරගන්නටම තමයි මේ මහ කැලේ භාවනාවට තනිවම වඩින්නට ඇත්තේ කියලා.
  • ඒ වගේම තමා ආරණ්‍යවාසි හාමුදුරුවන් වහන්සේලා කියන්නෙ දඩගමුවේ හිමියන් බුදු බවම ප‍්‍රාර්ථනා කළ උතුම් මහ තෙර නමක් බව. සියලූ ඇලීම් බැඳීම්වලින් මිදී බුද්ධත්වය සඳහාම පාරමී දහම් පුරමින් ප‍්‍රතිපත්ති පුරා ඇති බව කියනවා.
  • දඩගමුවෙ හාමුදුරුවන්ගෙ ජීවිතය ගැන බලද්දි අසන්නට ලැබෙන්නෙ උන්වහන්සේ පැවිදි වී ඇත්තේ මුල්ලේරියාව ගල්වාන විහාරස්ථානයේ දඩගමුවෙ ඥාණරතන ලෙස. පැවිදි වී උන්වහන්සේ එදා විද්‍යෝදය පිරිවෙනෙන් බණ දහම් ප‍්‍රගුණ කර ඇත.
  • කාලයක් ගතවන විට සසර පුරුද්දට මෙන් උන්වහන්සේ ආරණ්‍ය ජීවිතය ගත කරන්නට උනන්දු වී ඇති බව කියනවා. 29 වැනි වියට එළැඹෙද්දී දඩගමුවේ නායක හාමුදුරුවෝ මහකන්දට පා ගමනින්ම වැඩම කර ඇත. ඒ 1929 බව කියනවා. එදා වලසුන්ගෙන් පවා ගහන වූ දැඩි පාළුවෙන් පිරි මහ කන්දේ ගල් ලෙනක් වෙත වැඩම කර එහි වැඩ සිටිමින් ප‍්‍රාර්ථනා කටයුතු බෝධිය සාක්ෂාත් කරගන්නට පසුබිම් සකස් කර ගත් බව ජනප‍්‍රවාද වල සඳහන්.
  • ගල්ලෙන ලෑලි වලින් ආවරණය කරගෙන උන්වහන්සේ දවසේ වැඩි කාලයක් භාවනාවෙන්ම ගත කර ඇත. එහිදී ”මහකන්දේ රුක්ෂ ප‍්‍රතිපත්ති පුරණ හිමිනමක් වැඩ සිටිනවා” කියන ආරංචිය අවට ගම්වලද පැතිර ගිහින්. ඉතිං ඒ නිසා දානය අවශ්‍ය වූ විට දවසේ නියමිත වේලාවක වන අරනේ එක්තරා සීමාවකට උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කරනවා. උදේ 9.00 පමණ වන විට දඩගමුවේ නාහිමියන් පිණ්ඩපාතයට වැඩම කරන බව දන්නා අවට ගම්වැසියෝ දානය පිළිගැන්වීමට මග බලා සිට ඇත.
  • මේ දඩගමුවේ නාහිමියන් දානය වළඳා ඇත්තේ දවසේ එක් වරක් විතරයි. එය බොහෝ දුෂ්කර ප‍්‍රතිපත්තියක් බව කියනවා. උන්වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරන වේලාවට දානය සූදානම් නැත්නම් ආපසු මහ වනයට පුරුදු ශාන්ත ගමනින් වැඩම කිරීම උන්වහන්සේගේ ප‍්‍රතිපදාව වී ඇත. නැවත දානයට දඩගමුවේ නාහිමියන් වැඩම කරන්නේ පසුවදා.
  • ඒ වගේම මහකන්දේ වැඩ සිටි කිිසිම දිනෙක දඩගමුවේ හිමියන් සිවුරු පිරිකර පිළිගෙන නෑ. උන්වහන්සේ සිවුරු සාදා ගන්නා ලද්දේ තැන් තැන්වල දමා ගිය සුදු රෙදි පඬු ගසා ගැනීමෙන්. සිවුරු පිරිකර භාර නොගන්නා නිසා ගම්මු සුදු රෙදි කැලයේ ගස්වල එල්ලා තබා, බිම දමා යයි. ඒ පාංශුකූල රෙදි බව ඇඟවීමේ අදහසින්. දින ගණනක් කැලයේ තැන් තැන්වල දමා ගොස් ඇති රෙදි පාංශු කූල රෙදි හෝ අයිතිකරුවකු නැති රෙදි බව දැන දඩගමුවේ හාමුදුරුවෝ එම රෙදි ගෙන ගොස් පඬු ගසා සිවුරු වශයෙන් පරිහරණය කර ඇත.
  • 1970 ගණන් වල මුල් භාගයේදී දඩගමුවේ ඤාණරතන නාහිමියෝ අසනීප වී ඇත. ඉන්පසුව උන්වහන්සේ වතුරුවිල වනවාසී මූලස්ථානයට වැඩම කරවා ගෙන අවශ්‍ය උපස්ථාන කටයුතු කර ඇත. කෙතරම් අසනීපව, අසාධ්‍යව සිටියද උන්වහන්සේ හොඳ සිහිකල්පනාවෙන් යුතු වුන අතර ඇස් පෙනීමත්, කන් ඇසීමත් හොඳ බව කියනවා.
  • අසනීප වුනත් කිසිම විටෙක උන්වහන්සේ අවේලාවේ කිසිවක් වැළඳුවේ නෑ. අසනීප තත්ත්වයේ සිටියද දවසේ දහවල දානයෙන් පමණක් සෑහී දුෂ්කර ප‍්‍රතිපත්ති පුරා ඇත. සියලූ සැප හැරදා ජීවිතයේ නියමාර්ථය සොයන්නට දඩගමුවේ නාහිමියෝ වෙහෙස වුන බව මේ දේවල් වලින් හොඳටම පැහැදිලි වෙනවා. එය බොහෝ දුෂ්කර ප‍්‍රතිපදාවක්. භාවනාදී ප‍්‍රතිපදාවෙන් කල් ගෙව්ව දඩගමුවේ ඤාණරතන නාහිමියෝ 1978 ජූනි මාසෙදි අපවත් වී වදාළහ.
  • දඩගමුවේ නායක හාමුදුරුවෝ මේ ලෝකෙ අනිත්‍ය බව තේරුම් ගත්ත සසර කෙටි කරන මඟ සොයා ගිය සඟ පරපුරේ උතුම් හිමිනමක්. උන්වහන්සේ ඒ සෙව්ව නිර්වාණය උන්වහන්සේට සසර කෙටිකර ගනිමින් සාක්ෂාත් කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.