Hela Rahas

Hela Rahas Official Web Portal

ප්‍රධාන දොරට මුහුණලා ඇති වන වාස්තු දෝෂ 8ක්

බොහෝ දෙනා වාස්තු විද්‍යාවට අනුව ගෙවල් හදනවා. ඒ යම් විශ්වාසයක් නිසානෙ. ඉතිං ඒ වාස්තු විද්‍යාවට අනුව ගෙදරකට බලපාන දෝෂ ගැන කියනවා. වාස්තු විද්‍යාවේදී ප්‍රධාන දොර සිට නෙත ගැටෙන මානයේ පවතින විවිධ දෑ හේතු කොට ගෙන දෝෂ රාශියක් ඇති වේ. ඒවා ‘ද්වාර වේධ දෝෂ’ කියලා හඳුන්වන්නෙ. ඒ වේධ දෝෂ ගැනයි අද කියන්නෙ.මේ ද්වාර වේධ දෝෂ පවතින නිවෙසකට විවිධ කරදර, බාධක ඇතිවන බව වාස්තු වේදයේ ඍෂිවරුන් පවසා ඇත. ඉතිං ඒ ද්වාර වේධ දෝෂ ගැන අද අපි කියනවා.

1.වෘක්ෂ වේධ දෝෂය-ගෙදර ප්‍රධාන දොර ඉදිරිපිට විශාල ගසක් තිබීමත් ,එම ගස නිසා නිවෙසට ‍හා ගෙමිදුලට හිරු කිරණ නොවැටී අඳුරු ස්වභාවයක් ගැනීම තමා වෘක්ෂ වේධ දෝෂය කියන්නෙ. මෙවැනි නිවෙසක වෙසෙන නිවැසියන්ට නිතර විවිධ කරදර, ලෙඩ දුක්, දූ දරුවන්ටද බලවත් විපාක, අමනුෂ්‍ය දෝෂ පැමිණෙන‍ බව කියනවා. මල් පඳුරු, කුඩා පැළෑටි ගස්, එළවළු ආදි මේ දෝෂයට අයිති නෑ.

2.රජක වේධ දෝෂය-ප්‍රධාන දොර ‍ඉදිරිපිට රෙදි සෝදන ස්ථානයක් පැවතීම රජක වේධ දෝෂය යි. මෙවැනි නිවෙස්වල වෙසෙන අය පහත් අදහස් සිතුවිලි වලින් පිරුණු අය වේ. කෙතරම් ඉගෙන ගත්තද ඔවුන්ට උසස් රැකියා හෝ උසස් තනතුරු නොලැබෙන බව කියනවා.

3.කර්ම වේධ දෝෂය-ගෙදර ප්‍රධාන දොර ඉදිරිපිට මඩ වලක්, අත්හැර දැමු පාලු පතලක්, පුරන්ව වල් වැදුණු කුඹුරක් ආදි භුමියක් පිහිටීම කර්ම වේධ දෝෂයයි. මෙවැනි නිවාස වල වෙසෙන නිවැසියන්ට නිතර කනගාටුදායක සිද්ධීන්, කරදර කම්කටොලු වලටද මුහුණ පෑමට සිදුවන අතර මොවුන්ගේ දියුණුවට බාධා ගෙන ‍දීම, නිවැසියන්ගේ ගෞරවයට, කිර්තියට හානි සිදුවීම අනිවාර්ය බව කියනවා.

4.බ්‍රහ්ම වේධ දෝෂය-මේ දෝෂය කිහිප ආකාරයකට යෙදෙනවා. නිවසේ ප්‍රධාන දොරටුව කෙලින් තවන් නිවෙසක බිත්තියක් තිබීම, ප්‍රධාන දොර ඉදිරිපිට වෙන නිවෙසක කුමන හෝ අගයක් තිබීම, ප්‍රධාන දොර කෙලින් තවත් නිවෙසක දොරක් තිබීම මගින් මේ දෝෂය ඇති වේ. මේ දෝෂය සහිත නිවසක වෙසෙන නිවැසියන් ගේ කීර්තිය, ගෞරවය හා ප්‍රසංශාව කෙලෙසී යන බව පවසනවා.

5.ද්වාර වේධ දෝෂය-නිවසේ ප්‍රධාන දොර කෙලින් තවත් නිවසක දොර පිහිටීම මෙන්ම තම නිවෙස් ප්‍රධාන ගේට්ටුව ප්‍රධාන දොර කෙළින්ම පිහිටීම ද්වාර වේධ දෝෂයයි.මේ දෝෂය ඇති ගෙදරක සිටින නිවැසියන්ට ඇස් වහ කට වහ දෝෂ, නිවැසියන්ගේ කී‍ර්තියට හා ශරීර සෞඛ්‍යයට ද බොහෝ අගුණ, සොර සතුරු පීඩා ද ගෙන දේ.

6.ස්ථම්භ වේධ දෝෂය-ප්‍රධාන දොර කෙලින් නිවසට අයත් නැති සිමෙන්ති කනු පිහිටීම හෝ කුලුණක් පිහිටීම ස්ථම්භ වේධ දෝෂයයි. මේ දෝෂය නිවෙස්වල නිවැසියන් නොයෙකුත් අපචාර, දුරාචාරවල යෙදෙන අය බව කියනවා.

7.කූප වේධ දෝෂය-ගෙදර ප්‍රධාන දොරට හරි කෙලින් ‍‍‍ගේ දොර ආසන්නව ළිඳක් පිහිටා ඇත්නම් එය කූප වේධ දෝෂයයි. මේ ගෙවල් වල වෙසෙන නිවැසියන්ට හිසේ රෝග, ස්නායු ආබාධ, අපස්මාරය වැනි රෝග, මානසික රෝග ඇති වන අතර අපකීර්තිය, නිවෙසේ සාමය බිඳ වැටීම ආදී දේ ද වෙනවා.

8.සුසාන ‍වේධ දෝෂය-නිවසේ ප්‍රධාන දොර ඉදිරියේ ආදාහනාගාරයක්, සොහොන් කොතක්, සුසාන භුමියක්, මෘත ශරීරාගාරයක් පැවතීම මෙම දෝෂයයි. මෙවැනි නිවෙස්වල සිටි‍න නිවැසියන්ගේ ධනය විනාශ වීම, ලෙඩදුක් කරදර වලට මුහුණ දීම, හදිසි මරණ ඇති වීම සිදුවන වාස්තු විද්‍යාවේ සඳහන්වේ.