පංචපුත්‍ර ඛාදක ප්‍රේත වස්තුව

Articles

ප්‍රේත ලෝකයේ ඉන්න සතුන් වඳින දුක් ඔබ අසා තිබේද? දරුණු වූ දුක් සම්භාරයක් ප්‍රේත උපතක් ලැබූ සත්වයෙකුට තම උපතත් සමඟින් උරුම වෙයි. ප්‍රේත ලෝකයෙදි මනුෂ්‍ය ලෝකයේදී මෙන් දඬුවමින් බේරී පැනයන්නට විදිහක් නැත. වේදනාබර මුවින් පිටවන ශබ්දය හිස් වා තලයේ පාව යනු මිසක සැනසුමක් නම් නැත. යම් තැනක සැඟවී සිටින්නට තැනකුත් නැත. කළ අකුසලය ගෙවී යනතුරු ගැලවිල්ලක් ද නැත.

  • බොරු කීම, බොරුවට දිව්රීම, දරුවන් ගබ්සා කිරීම, දරුවන් ගබ්සා වීමට විෂ බෙහෙත් යෙදීම ආදී දරුණු පාප ක්‍රියාවන් කිරීමෙන් හා ඊට දායක වීමෙන් මතු භවයන් වල ලැබෙන, විඳගැනීමට අපහසු ඉතා කටුක දුක් විපාකයන් ගැන පංචපුත්‍රඛාදක ප්‍රේත වස්තුවෙන් විග්‍රහ වෙයි.
  • අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙ වැඩ වාසය කරන සමයකදී පුතුන් පස් දෙනෙකු ආහාරයට ගන්නා ප්‍රේතියක් හේතු කරගෙන පංචපුත්‍රඛාදක ප්‍රේත වස්තුව දේශනා කළ සේක.
  • සැවැත් නුවරට සමීප ගමක පුරුෂයෙකුගේ බිරිඳ දරුවන් නැති වඳ ස්ත්‍රියකි.ඒ පුරුෂයාගේ නෑයෝ භාර්යාවට දරුවන් නැති නිසා වෙනත් බිරිඳක් කැඳවාගෙන එන ලෙස යෝජනා කළා. ඒත් තම බිරිඳට ඇති ආදරය නිසා ඔහු මුලදී එම යෝජනාවට අකමැති වුනා.
  • බිරිඳ එම පුවත අසා “ස්වාමීනී, මම දරුවන් නොමැති වඳ ස්ත්‍රියකි. ඔබගේ කුලය ඉදිරියට ගෙන යාම සඳහා ඔබ විසින් වෙනත් ස්ත්‍රියක් රැගෙන ආ යුතු ය.” යි පැවසුවා. දිගින් දිගට ම කරන ලද ඇගේ ආයාචනය පිළිගත් ස්වාමිපුරුෂයා වෙනත් ස්ත්‍රියක් නිවසට කැඳවාගෙන ආවා.
  • ටික කාලයකින් දෙවන බිරිඳ ගර්භණී භාවයට පත් වුනා. වඳ බිරිඳ ‘මැය පුතෙකු ලබා මේ ගෙදර ප්‍රධානත්වය ගන්නී ය.’ යි සිතා ඇගේ දරුගැබ විනාශ කිරීමට උපායක් සිතුවා.
  • ඇය පරිබ්‍රාජිකාවකට ආහාර පාන ආදිය ලබා දී දරුගැබ විනාශ කිරීමට හැකි බෙහෙතක් ඇගෙන් ලබා එය ගර්භණී මාතාවට දුන්නා. දරුගැබ විනාශ වූ බව දැනගත් ගර්භණී කාන්තාව එය අම්මාට කීවා. හදිසියේ මෙලෙස දරුගැබ විනාශ වීමට හේතුවක් නැතැයි සිතූ ඇයගේ ඥාතීන් සියලු දෙනාගේ සැකය ද එල්ල වූයේ වඳ ස්ත්‍රියට.
  • ඥාතීන් සියලු දෙනා රැස්වී එම ස්ත්‍රිය කැඳවා ඇගෙන් ප්‍රශ්න කළා. බියටත්, තැතිගැනීමටත් පත්ව සිටි ඇය “මම දරුගැබ විනාශ නො කළෙමි.” යි කීවා.
  • නුඹ එසේ දරුගැබ විනාශ නො කළේ නම් අප සියලු දෙනා ඉදිරියේ දිව්රීමක් කළ යුතුයි.” නෑයෝ පැවසුවා. එවිට බියට පත්ව සිටි එම කාන්තාව සියලු දෙනා ඉදිරියේ බොරුවට දිව්රුවා.
  • “ඉතින් මා විසින් මෙම දරුගැබ විනාශ කරන ලද්දේ නම්, දුගතියෙහි ඉපදී කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙම්වා! උදය කාලයේ හා සවස් කාලයෙහි දරුවන් පස්දෙනා බැගින් ප්‍රසූත කර එම දරුවන් මා විසින් ම අනුභව කළ ද මාගේ කුසගින්න නො නිමේවා! නිතර දුර්ගන්ධයෙන් යුත් හාත්පස නිලමැස්සන් ගැවසී ගත් ශරීරයක් ඇත්තියක වේවා!” කියලා ඉතා දරුණු දිව්රීමක් සිදු කළා. එයින් ඇය නිර්දෝෂී යැයි ඔවුන්ට හැඟවීමට ඒ මොහොතේදී ඇය සමත් වුනා.
  • ඉතිං මෙහෙම කාලයක් යද්දි ඇය මරණයට පත්ව ගමට සමීප ස්ථානයක දුර්වර්ණ ශරීරයක් ඇති ප්‍රේතියක් ව උපත ලැබුවා. එම ජනපදයේ වස් විසූ ස්වාමීන් වහන්සේලා අටනමක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යාම පිණිස වඩිනා අතර එම ස්ථානයට පැමිණියා.
  • සිහිල් සෙවණින් ද ජලයෙන් ද යුත් එම වනාන්තර ප්‍රදේශයේ දී එම ප්‍රේත ස්ත්‍රිය තම සිරුර ස්වාමීන් වහන්සේලාට පෙනීමට සැලැස්වූවා. එහි වැඩ සිටි ප්‍රධාන ස්වාමීන් වහන්සේ ප්‍රේතියගෙන් මෙසේ කරුණු විමසුවා.
  • “ප්‍රේත ස්ත්‍රිය, නුඹ නිර්වස්ත්‍රව ඉතා බියකරු රූපයකින් යුක්ත වන්නී ය. තදබල දුර්ගන්ධයක් ඇත්තී ය. ශරීරයෙන් හමන්නේ කුණු වූ ගන්ධයකි. හාත්පස නිලමැස්සන් පිරී ඇත්තීය. මෙබඳු ශරීරයක් ඇති නුඹ කිනම් තැනැත්තියක් ද?”
  • “ස්වාමීන් වහන්ස, මම දුකට පත්, යම ලෝකය යැයි නම් ඇති ප්‍රේත ලෝකයෙහි උපන් ප්‍රේතියක් වෙමි. මිනිස් ලොවදී පව් කොට මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපන්නෙමි.
  • මෙසේ උපන් මම උදය කාලයෙහි දරුවන් පස් දෙනෙකු ද නැවත සවස් කාලයෙහි දරුවන් පස් දෙනෙකු ද ප්‍රසූත කොට කා දමමි. ඒ දරුවන් දස දෙනා එක දවසක් මා හට කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් නො වෙයි.
  • බඩගින්නෙන් පෙළෙන මාගේ හෘදය කුසගින්න හේතුවෙන් හාත්පස දැවෙයි. පිපාසයෙන් පීඩාවට පත් වෙමින් මම ඒ මේ අත දුව යන මුත් පැන් නො ලැබෙයි. මෙබඳු විපතකට පත් වූ මා දෙස බලනු මැනව.”
  • එම කරුණු ඇසූ භික්ෂූන් වහන්සේ නැවත ප්‍රශ්නයක් ඇසුවා.“ප්‍රේත ස්ත්‍රිය, නුඹ විසින් සිත, කය, වචනයෙන් කරන ලද කුමන අකුසලයක විපාක වශයෙන් මෙසේ පුත්‍ර මාංශ අනුභව කරන්නේ ද?”
  • ඇය තමන් පෙර ආත්මෙ තම ස්වාමිපුරුෂයාගෙ දෙවන බිරිඳගේ දරු ගැබ විනාශ කළ ආකාරයත් ඇය කළ දිව්රුම ගැනත් කීවා. “ඉතිං එදා දරු ගැබ විනාශ කළ ප්‍රාණඝාත අකුසලය ද බොරු කී අකුසල කර්මය ද විපාක හේතුවෙන් මෙසේ මා පුත්‍ර මාංශ අනුභව කරමි”. කියා ඇය කීවා.
  • ස්වාමීන් වහන්ස, මම මේ ගම අසවල් පුරුෂයාට භාර්යාව වී ඊර්ෂ්‍යාවෙන් යුතුව පාප කර්ම කොට මෙසේ උපත ලදිමි. ස්වාමීනී, ආයාචනා කර සිටිමි. මා කෙරෙහි අනුකම්පාවෙන් එම නිවසට වඩිනු මැනවි! එවිට එම පුරුෂයා ඔබ වහන්සේලාට දන් පිළිගන්වයි. එම දානමය පුණ්‍යකර්මය ඔහු ලවා මට අනුමෝදන් කරනු මැනවි! එසේ කළ විට මේ දුකෙන් මා මිදී යයි.” ඇය කීවා.
  • ස්වාමීන් වහන්සේලා ඇයට අනුකම්පාවෙන් අර ස්වාමිපුරුෂයාගේ ගෙදරට පිඬු පිණිස වැඩියා. ස්වාමීන් වහන්සේලා දැක සිත පැහැදීමෙන් පෙරමඟට පැමිණි පුරුෂයා පාත්‍රයන් ගෙන ස්වාමින්වහන්සේලාට ප්‍රණීත ආහාර පාන පූජා කළා.
  • දන් අවසන් වී ප්‍රේත ස්ත්‍රියගේ කථා පුවත එම පුරුෂයා හට පවසා දානමය පින ප්‍රේතියට අනුමෝදන් කළා. එවිට එම ප්‍රේත ස්ත්‍රිය ප්‍රේත දුකින් මිදී මහත් වූ සම්පත් ලබා රාත්‍රී කාලයෙ එම පුරුෂයා හට තමා පෙනෙන්නට සැලැස්වූවා.මේ සසර කෙතරම් බිය කරුද කියලා ඔබට මේ ප්‍රේත වස්තුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතිං නොපමාව කුසල් වඩන්න. අකුසල් සිත් මකා දමන්න කටයුතු කරන්න.