නඩුකාර උන්නාන්සේට පාඩමක් ඉගැන්වූ කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ

Articles

දවසක් පන්සල ළඟ ගණ කැලෑවේ ගස් කොළන්, අතු රිකිලි එහාට මෙහාට කරමින් පන්සල දිහාවට අහිංසක, බොහෝ මහළු දුර්වල පුද්ගලයකු ආවා.

  • හාමුදුරුවෝ– ලොකු උන්නැහෙ දුර පළාතක ඉඳලා.වගෙයි.යමුකො ආවාස ගේ පැත්තට.
  • අමුත්තා– හාමුදුරුවනේ මම ආවේ මිනුවන්ගොඩ ඉඳලා.මීගමුවෙ උසාවියේ මට ලොකු නඩු පටලැවිල්ලක් තියෙනවා.
  • හාමුදුරුවෝ– ඉතින් ලොකු උන්නැහේ මම පෙරකදෝරුවෙක් නෙමෙයිනේ.ඇයි උන්නැහෙ මං ළඟට ආවේ?
  • අමුත්තා-මගේ දුක වාව ගන්න බෑ නායක හාමුදුරුවනේ.අපේ ගම්වල ඔක්කොම අපි වගේ අසරණයි.නඩු හබයක් දිනන්න නම් කොණ්ඩදෙණියට ගිහින් කියන්න කියලා. ඒ මිනිස්සු කිව්ව හින්දයි හාමුදුරුවනේ මම මේ අමාරුවෙන් ආවේ.
  • හාමුදුරුවෝ– දැන් මොකද වෙලා තියෙන කරදරේ?
  • අමුත්තා– හාමුදුරුවනේ,මම කියන්නෙ ඇත්තයි.මට ඉඩම් අක්කර දෙකක් තියෙනවා.මගේ අහල පහළ මගේ නෑදෑයෙක් හොර ඔප්පු හදලා.මගේ ඉඩම් ලොකු සල්ලිකාරයකුට විකුණලා.
  • ඒ කට්ටිය ඉඩම වටේ කටු කම්බි ගහන්න ආවා.මම පොලිසියට ගියා.දැන් ඉඩම් නඩුවක්.ලොකු මහත්තුරු ඒ සල්ලිකාරයා වෙනුවෙන් නඩුකාර උන්නාන්සේ ඉස්සරහ පොළොව හැපි හැපි කරුණු කාරණා කියනවා.මම ඉතින් සල්ලි බාගෙ ඇති මනුස්සයෙක් නෙවෙයිනේ. මගේ සාක්කිය අවලංගු වෙන විත්තියක් මට තේරුම් ගියා.මට උදව් උපකාරයක් කරන්න හාමුදුරුවනේ
  • හාමුදුරුවෝ-“උපාසක උන්නැහේ ඔය නඩුකාර හාමුදුරුවෝ මොන වගේ මිනිහෙක්ද?”
  • අමුත්තා- මම දවස් තුන හතරයි දැක ගත්තෙ.මහව නඩුකාරයා වෙලා ඉඳල දැන් මීගමුවට මාරු කරලා.
  • හාමුදුරුවෝ-ආ මමත් බලාගෙන හිටියෙ ඔය මිනිහට පාඩමක් උගන්නන්න.තමුන්නැහේ ආපු එක හොඳයි.දැන් මට රටේ කිසිම උසාවියකට එන්න බැරි විදිහට තහනමක් පනවලා තියෙනවානේ. ඒක කළෙත් ඔය මනුස්සයා.යමු මගේ කාමරේට.
  • උපාසකට වැඳ නමස්කාර කර ගන්න කියලා හාමුදුරුවෝ මන්තර කියන්න පටන් ගත්තා. සුවඳ දුමින් පිරුණු කාමරය මන්ත්‍ර ජාලාවකින් ගිගුම් දෙන්න ගත්තා. විදුලි ආලෝකය විසන්ධි වුනා.කළු බළලා බළල් පැටව් ටිකක් එක්ක හාමුදුරුවන්ගෙ පාමුල වැතිරුණා.දේව ආභරණ සහිත හිමි කුටිය සසල වන්නට ගත්තා.
  • තඩි බළලාගේ දෙඇස් රතු වී පැමිණි බළල් පැටවුන්ගේද ලේ කඳුළු දහරා ආවා.සුදු කපු පුළුන් කැටියකට එය ගත්ත කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ තුෂ්ණිම්භූත වූයේ කාලි යක්ෂණිය තම පිරිවර සමගම පැමිණීම ගැන.ආයත් හාමුදුරුවො මන්තර ජප කරන්න ගත්තා.මේ දේවල් දැකලා අර මනුස්සයා භය වෙලා සිටියා. එ බව හාමුදුරුවන් තේරුම් ගෙන බුදුන් වැඳලා එන්න කීවා.
  • හාමුදුරුවෝ-ලොකු උන්නැහේ බුද්ධ මන්දිරය ඉස්සරහ තියෙන ගහකින් කොළ අතු ගලවලා පුංචි කෝටු කෑල්ලක් කඩලා තමුන්නැගේ පූජා කරපු මල් වට්ටියේ තියලා ආයෙමත් කියන්න තමුන්ගේ ඕනකම.
  • පසුව අර පුළුන් කෑල්ල අර මහළු මනුස්සයට දුන්නා.”එහෙනම් පරෙස්සමෙන් මේක අරගෙන යනවා. මේ පුළුත් කෑල්ලෙ තියෙන්නෙ දේව වරම යක්ෂාරූඪය. නඩුකාරය ආසනේ ඉඳගන්න කලින් මේ කෝටු කෑල්ල ආසනේ යටට දාන්න ඕන.මට ඒ රාජකාරිය කරන්න බෑ. ඔහේටත් බැහැනේ.අල්ල ගන්නව පියුන්කාරයෙක්.’
  • බය වෙන්න දෙයක් නෑ. හාමුදුරුවනේ. නඩුකාර උන්නාන්සෙගෙ කාමරේ අතු ගාන්නේ මගේ නෑදෑයෙක්. මම ඒ රාජකාරිය කරන්නම් මහළු අමුත්තා කීවා. නඩු දවස ආවා. හාමුදුරුවෝ කීව විදියටම වැඩ කටයුතු කළා.
  • නීතිඥයන් රැසක් සමඟ පැමිණ සිටි තම ප්‍රතිවාදියා විවිධාකාර තර්ක විතර්ක ඉදිරිපත් කරන්නට පටන් ගත්තා. නීතිඥයකු ලබා ගැනීමට අර කෙනාට වත්කමක් තිබුනෙ නෑ.ඒක පාර්ශ්වීය නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්නට නඩු හාමුදුරුවන් සැරසෙත්ම තම ඥාතියාට මහළු මනුස්සයා සංඥාවක් කළා.ඥාතියා කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ මන්ත්‍ර බලයෙන් ජප කරපු කොටු කැබැල්ල නඩු කාර උන්හන්සේගේ පුටුව යටට දැම්මා.
  • නඩුකාර උන්නාන්සේට කතා බහ කර ගන්නට නොහැකිව නාසයෙන් ගලාගෙන ආ සෙමවලින් මුළු පපු පෙදෙසම තෙත් බරිත වුණා.අත් පන නැති වෙලා විනිශ්චය ආසනයේ කර කියාගත හැකි දෙයක් නැතිව කිසිදු හැල හැප්පීමක් නොමැතිව සිටියා.
  • පරණ කතා දන්න වැඩිහිටියන් කීවෙ මේක කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ගෙ වැඩක් වෙන්න ඇති කියලා.කාර්ය මණ්ඩලය නිගමනයකට ආවා. ඒ හිමියන් හමුවී මෙයට අස්වැසුමක් ලබා ගැනීමට. ඔවුන් හාමුදුරුවන් හමු වෙන්න ආවා.
  • හාමුදුරුවෝ කීවේ “උන්නැහෙ ලොකු ගණන්කාරයෙක්.දවසක් මට මහව උසාවියෙදි කට වාචාලයෙක් කියල කිව්වා. අද අර අහිංසකයකුගෙ ඉඩමක් භුක්තියට ගන්න හදන සල්ලිකාරයකුට උල් පන්දම් දෙනවා.මේකයි තමුසෙලා දැන ගන්න ඕන. අහිංසකයන්ට වද දෙන්නෙ නැතුව නීතිය අකුරටම පිළිපදින්න ඕන. ඒක මහ උන්නැහෙටත් කියලා දෙනවා.
  • ඔය වගේ අසනීපවලට මං ළඟ තියෙන්නේ එකම බෙහෙතයි.තුන්තිස් පැයක් මම පිරිත් කරපු පිරිත් පැන් බෝතලයක්.ඒකෙන් ටිකක් මූණට ඉහින්න. ඇස් දෙක ඇරේවි. අත පය හොල්ලාවි, අමාරුවෙන් වුණත් නඩුකාර ආසනේ වාඩිවේවි. අත පය ගසා බසා දාලා උජාරුවෙන් ඉඳ ගනීවි. සල්ලිකාරයන්ට යටත් නොවී හරි නඩු තීන්දුවක් දේවි.”
  • හාමුදුරුවෝ කීව විදියටම වුනා. අන්තිමට අර අහිංසක මහළු මිනිසාට තමන්ගෙ ඉඩම ලැබුණා. තමන්ට සිද්ද වුන දේ දැන ගත්ත නඩුකාර උන්නාන්සෙ කොණ්ඩදෙණියේ හාමුදුරුවන් බැහැ දැකලා සමාව ගත්තා.