උසුළු විසුළු කළ කෙල්ලන්ට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ඉගැන්නූ අපූරු පාඩම

Articles

බමුණුගම අන්ත අසරණ රෝගියෙක් සුවපත් කරලා පන්සලට වඩිමින් සිටිය කොණ්ඩදෙණියේ සීලරතන හාමුදුරුවෝ බමුණුගම ඉදන් දුෂ්කර ගමනක් තමා ආවේ. ඒ ඊට පහුවදාට පන්සලෙ සිදුවන ශ්‍රමදාන කටයුත්ත සිතමින්.

  • කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගෙ ගමන හැමදාම කඩිසරයි. බමුණුගම අසරණයාට සත්කාර කළ හිමියන්ට හැලෝගම පසු කරත්ම තරමක අපහසුතාවකට මුහුණ දෙන්නට වුනා.කොණ්ඩදෙණියට හැලෝගම සිට ඇත්තේ හූවක දුරක්.උදේ පාන්දර ඉඳලා ගමේ කොල්ලො කෙල්ලො දිය නාන්නේ හැලෝගම තිබුණ වැවෙන්. මේ අතරවාරේ තමයි කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ඒ ළඟින් හනි හනික ගමන් ගත්තේ.
  • “අර බලාපල්ලකො හාමුදුරු කෙනෙක් යන හැටි. අඩියක් තියන්නෙ අඩි දෙකක් ඉස්සරහට. හාමුදුරුවන්ට මේ කතාව ඇහුණා. දිය නාමින් සිටිය කෙල්ලන්ගේ සිනහව ඉවරයක් නැති වුණා.
  • කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ මොහොතක් නතර වුණා. අහස දිහා බලා පාමුලෙහි ඇති වැලි දෝතක් අතට ගෙන පෙණහැල්ල පුරා වේගයෙන් එන ප්‍රශ්වාසයක් එක් කර තම මන්ත්‍ර විධියක් සිහිපත් කර වැව ඉස්මත්තට විසිකර පුරුදු ගමනින් පන්සලට වැඩම කළා.
  • එදා අර කෙල්ලන් කළ උපහාසය හිමියන්ට දැඩි මානසික පීඩාවක් ඇති කළා. අහිංසක රෝගියෙකුට පිහිට වීමට කැලය දෙබෑ කරගෙන ගොස් තමා කළ දෙය මේ හතර ගම්මානයේ කිසිවෙක් දැන් නොසිටියත් කවදාක හෝ තමා කළ මෙහෙය යළිත් සිහිපත් කරන පිරිසක් සිටින බව හාමුදුරුවෝ සිතුවා.
  • එදා දවස තමන් උපහාසයට ලක් කළවුන් ගැන පන්සලට පැමිණි හිමියන් යළි සිහිපත් කළා. “මම මගේ එවුන්ට මෙච්චරක් වැඩ කරනවා. උන් මට හිනා වෙනවා ” හිමියන් තුළ දැඩි කනස්සල්ලක් ඇති වුණා.
  • එදා දවස ටික ටික ගෙවෙන්න වුනා. හැලෝගම ගමේ අම්මලා තමන්ගෙ දුවලා උදේ පාන්දර නෑමට ගොස් සිටියත් මෙතෙක් වේලා ගෙදර ආවේ නැති නිසා බයවෙලා සිටියා. ඒ අහල පහළ කොලු රෑනකට අසුවෙලාවත් ද යන සැකය ඉස්මතු වෙලා. අම්මලා වැව් කණ්ඩිය ළඟට ගියා. ඔවුන්ට මෙය අදහාගත නොහැකි වුණා.
  • මුන් වතුර නාන්නේ නැහැනේ. බුකුං ගහනව. උඩ පනිනවා .කටවල් දිග ඇරගෙන අතොරක් නැතිව හිනා වෙනවා.”
  • අහල පහළ මිනිස්සු ද මේ දෙස වට වෙලා බලන් සිටියෙ පුදුම වෙලා. සෙනඟ මැදින් එක්තරා මැදිවියේ මිනිසෙකු එතනට පැමිණියා“මේ කෙල්ලො අපේ හාමුදුරුවන්ට විහිළුවක් කරන්න ඇති. අද උන්නාන්සෙ ගියේ බරපතළ රාජකාරියකට, ආපහු පන්සලට එන්නෙ මෙතැනින්. හාමුදුරුවන්ගෙ ගමන කවදත් හයියෙන්නේ. මේක දැකපු කෙල්ලො හිනාවෙන්න ඇති. ඉතින් ඔය විදියට දවස් ගණනක්ම හිනාවෙවී ඉඳපුවාවේ. ඒ එක්කම අර ළමයින්ගෙ දෙමව්පියන් හාමුදුරුවන් බැහැදකින්න ගියා.
  • හාමුදුරුවෝ – “මොකද මේ ඇත්තො හදිසියෙන්ම?” කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ඇසුවා
  • අමුත්තන්- “අපේ හාමුදුරුවනේ සමාවෙන්න. අර අපේ කෙල්ලො කට්ටිය උදේ පාන්දරින්ම වැවට ගියා නාන්න කියලා. දැන් ඉර මුදුනත් පහු වෙලා. බුකුන් ගහනවා . හිනා වෙනවා . ගොඩට එන්න කොච්චරක් කියලා අඬ ගැහුවත් ඇහුනෙ නෑ වගේ ඉන්නවා.”
  • හාමුදුරුවෝ- ” ඉතින් උන් ඒක ආසාවට කරනවාවෙන්න ඇති. මම ඒව දන්නෙ නෑ.
  • අමුත්තන්- සමාවෙන්න හාමුදුරුවනේ අපේ නායක හාමුදුරුවෝ එතැනින් වඩින කොට උන් විහිළුවක් කළා කියලා දැක්ක කෙනෙක් කිව්වා.
  • හාමුදුරුවෝ- ” ඉතින්, “ඒකට අපේ හාමුදුරුවෝ උදහස් වෙන්න ඇති.”
  • කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ- “මේකයි උන්නැහේ අහන්න. මම ගියේ මනුස්ස පරාණයක් බේරගන්න. ඒක කරලා මම එනකොට මේ පුංචි ගැටිස්සියො මට හිනා වුණේ මං විලම්බිත වෙලා යන හිඟන්නෙක් හැටියට දුවගෙන යනවයි කියවෝ වෙන්න ඇති. මොකද මට හවස් යාමෙ ලොකු වැඩක් තියෙනවා. මුන්ගෙ හිනාව මට ඇල්ලුවෙ නෑ. දැන් මට දුකත් හිතෙනවා. ‘
  • අමුත්තන්- “අවසර හාමුදුරුවනේ. අපේ කෙල්ලො ටික වැවෙන් ගොඩ දාලා දෙන්න.”
  • කොණ්ඩදෙණියේ හිමියෝ වැව ඉස්මත්තට වැඩියා. මොහොතක් කෙල්ලන් දිහා බලා සිටියා. බිම් මත්තේ වූ වැලි කැට අහුරක් අතට ගෙන එය වැව් ඉස්මත්තට දැම්මා.
  • “අපේ කෙල්ලනේ ගොඩට වරෙල්ලා. මොනවද මේ කරන්නෙ.දියබුං ගැහීම නතර වුනා.හෙමින් සීරුවේ ඔවුන් දෑත් හිස් මත ගෙන හිමි දෙපා මුල වැඳ වැටුණා.
  • “ හාමුදුරුවනේ අපිට සමාවෙන්න. අපි හිතල මතල කරපු දෙයක් නෙමෙයි.” කියලා සමාව ගත්තා.වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙන්න කියලා උපදෙස් දීලා කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ පන්සලට වැඩියා.