මහා සෑයේ චූඩා මාණික්‍යය ලැබුණු ඉතිහාසය කතාව

Articles

අපි දන්නවා රුවන්වැලි සෑය ඉදි කළේ දුටුගැමුණු රජතුමා බව. ඉන් පසු රුවන්වැලි සෑ ඉතිහාසය මැකී යන්න තිබුණ ඉඩ බොහෝය. නමුත් ඉතා වටිනා චූඩා මාණික්‍යයක් වැඩමවා රුවන්වැලි සෑය ගොඩ නැගුනු ආකාරය ගැන අද බලමු.ඒ කාලයේදී මිනිසුන්ගේ නොපැමිණීම නිසා සෑය මත ගස් වැවී වන මැද පිහිටි පර්වතයක් වගේ. මේ කාලෙ නාරන්ඕවිට සුමනසාර තෙරුන් වහන්සේ එහි වැඩ වනය මැද පිහිටි සෑය හෙළිකරන්නට පටන් ගත්තා.

ක්‍රි.ව. 1884 දී පමණ චෛත්‍ය ගොඩ නගන්න පටන් ගත්තා. ඒත් උන්වහන්සේට එය අවසන් කරන්නට බැරි වුනා. උන් වහන්සේ විසින් වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලේ මහත් උත්සාහයෙන් ගොඩනැගූ ඒ බැම්ම දුර්වල වී 1912 දී බිඳ වැටුණා.

ඉන්පසු එම වසරේ ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි නෙල් පෙරේරා වෙද රාල හාමිගේ මුලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය නමින් සමාගමක් පිහිටුවා චෛත්‍ය ගොඩනගන්න පටන් ගත්තා. දක්ෂ ඉංජිනේරු මහතුන්ගේ උපදේශ පරිදි ශක්තිමත් ලෙස චෛත්‍ය රාජයා බඳවන්නට පටන් ගත් සමිතිය, බැඳීම අවසන් වන්නට ලංවූ කල එය මත පැළද වීමට ටොන් 6ක් පමණ බරැති ආදී සුවිස්සක් පමණ උස්වූ ලෝහමය කොතක්ද තැනවූවා.

ඒත් චුඩා මානික්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුනා. පත්තර වල දැන්වීම් පල කිරීම් ආදියෙන් චුඩා මාණික්‍යය වර්ෂ ගණනක් මුළුල්ලේ සෙවූ නමුත් කොතනකින් වත් එයට සෑහෙන පළිඟුවක් ලැබුනෙ නෑ.අවසානයේ දී කොළඹ දෙමටගොඩ මහා මකුටාරාමාධිපති ගරු විනයාලංකාර බුරුම නායක ස්වාමින්වහන්සේ ගේ උපකාරය ලැබුණා. බුරුම නායක මාහිමියන්වහන්සේ මේ කාලයේ අභිනව දළඳා මාලිගය කරවමින් මහනුවර වැඩ සිටියා. රුවන්වැලි චෛත‍යවර්ධන සමිතියේ නිලධාරී පිරිසක් උන් වහන්සේ වෙත ගොස් මුහුණ පාන්නට සිදුවී ගැටළුව උන් වහන්සේට දන්වා බුරුමයෙන් වත් චූඩා මාණික්‍යයක් සොයන්නට උත්සාහ කරන ලෙස ආරාධනා කළා.

චූඩා මානික්‍ය පිලිබඳ දුෂ්කරත්වය පහකර ලීමේ වටිනාකම දත් බුරුම ජාතික මාහිමිපාණන් තමන්වහන්සේ විසින් කරවමින් සිටින දළඳා මාලිගා කර්මාන්තයද රුවන් මැලි සෑය බැඳවීමට දෙවැනි නොවන තරමේ බරපතල දෙයක් වුවද එය වෙනත් බුරුම තෙරුන්වහන්සේ නමකට භාර කොට 1933 මයි මස 17 දින කොළඹ වරායෙන් නැව් නැග චූඩා මාණික්‍යයක් සොයනු සඳහා රැන්ගුන් නුවරට වැඩි සේක.

උන්වහන්සේ රැන්ගුන් නුවර දින කීපයක් සිට සොයා බලා චූඩා මානික්‍ය සඳහා සරිලන පළිඟුවක් වෙළෙන්දෝ උන්වහන්සේට පරිත්‍යාග කළා. එහි වටිනාකම එකල මුදලින් රුපියල් 6000කි. මෝගොක් ආකාර වලින් ලැබුණු පලිඟුව ලංකා පලිඟුවට වඩා බෙහෙවින් ආලෝකවත්ය. බුරුම නායක හිමිපාණන් 1938 අගෝස්තු මාසයේදී ඒ පලිඟුව ලංකාවට රැගෙන ආවා.

රුවන්වැලි චෛතය සමිතියේ මහත්වරු ගොඩගත් පරිදිම ගෙන ආවාවූ එම පලිඟුව කැප්පවීමට ශිල්පයකු සෙවූවා. කුඩා මැණික් ගල් මිස විශාල ගල් කැපිය හැකි යන්ත්‍රෝපකරණ සහිත කර්මාන්ත ශාලා ලංකාවේ නොමැති බැවින් එය කැපීය හැකි කෙනෙකු සොයා ගත නොහැකි වුනා. එය විසඳා ගැනීමට පලිඟුව සැපයු බුරුම නායක මාහිමිපානන්ගේම උපකාරය පැතුවා. බුරුම බෞද්ධයන් වෙනුවෙන් එය කපවා පරිත්‍යාග කරතහොත් පිළිගැනීමට සමිතිය සතුටු බව බුරුම නායක හිමිපාණන්ට දන්වා චූඩා මානික්‍ය සැපයීමේ සම්පුර්ණ භාරය උන්වහන්සේටම පැවරූවා.

උන්වහන්සේ ඒ ආරාධනාව සතුටින් පිලිගෙන සමිතිය මගින් පිළියෙළ කරන ලද චුඩා මාණික්‍යයේ සැලැස්ම සහ පලිඟුව රැගෙන නැවත බුරුමයට පැමිණ මෝගොක් නුවරටම ගොස් චුඩා මාණික්‍ය කැපීම සඳහා පලිඟුව ශිල්පීන් අතට පැමිණ වූවා.බුරුමනායක හිමිපාණන්ගේ පුණ්‍ය මහිමය නිසාදෝ පළමු පලිඟුවට ද වඩා ලොකු පළිඟුවක් පළමු පලිඟුව පරිත්‍යාග කල මහතුන්ටම ලැබී තිබුණා. එයද නොමසුරුව ඒ නායක හිමිපාණන්ට ඔවුන් පරිත්‍යාග කළා. ඒ පලිඟුව රුපියල් අටදහසක් පමණ.

ඒ පලිඟුවෙන් ඉන්ජිනේරුමහතුන් විසින් තැනු සැලැස්ම පරිදි චුඩා මාණික්‍යය කපන ලදී. එහි උස අඟල් 18ක්. වට ප්‍රමාණය අඟල් 26ක්. බර රාත්තල් 66ක්. පලිඟුව කපා අවසාන වී බුරුම නායක හිමිපානන් එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඬුවක් ද පිහිටුවා තවත් මානික්‍යන්ගෙන් සරසන්නට සිතා ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වූවා. උන් වහන්සේගේ වචනය ඇසු බොහෝදෙනා ඒ සඳහා රන් රිදී මැණික් පරිත්‍යාග කරන්නටත් මුදල් වියදම් කිරීමටත් කැමැත්ත දැක්වුවා.

රිදියෙන් වාත්තුකොට රත්රනනින් සියල්ල වසා මැණික් ඇල්ලු අඩියක චුඩා මානික්‍ය සවිකොට මුදුනේ ස්වර්ණමය ධාතු කරඬුවක් පිහිටුවා මැණික් සැරසු ස්වර්ණමය කෝෂයකින් මුදුන වසා සතර දිශාවට මැණික් වැල් සතරක් එල්ලා නව මසකින් චුඩා මානික්‍ය කර්මාන්තය අවසන් කළා.චුඩා මාණික්‍යය මුදුනෙ පිහිටවන ස්වර්ණමය කරඬුවෙ වඩා හිඳවනු සඳහා බුරුම නායක මාහිමියන් විසින් ඒ ඒ තැනින් සපයා ගත් ධාතුන්වහන්සේලා නව නමක් වීදුරු කුප්පියක තැන්පත් කර තිබුනා.

චුඩා මානික්‍ය මුදුනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්නට බලාපොරොත්තු වූ දිනයෙ නායක මාහිමිපානන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය වැඩ කරන තැනට ගෙනගිය මුත් කරඬුව සවි කිරීම එදින අවසන් කිරීමට නුපුළුවන් වුයෙන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය එහිම සුදුසු තැනක තබා වැඩියහ.පසුදින උන්වහන්සේ එහි වැඩ කරඬුවෙ තැන්පත් කරනු පිණිස ධාතුන් වහන්සේලා ගන්නට බැලු කල්හි කුප්පිය පුරා ධාතුන්වහන්සේලා වැඩ සිටින බව දුටුවා. එහි ධාතුන්වහන්සේලා 98ක් වැඩ සිටියා.

චුඩා මානික්‍ය මුදුනෙහි වූ කරඬුවෙහි ඒ ධාතුන්වහන්සේලා 98 නම වඩා හිඳවුවා.මේ උත්තම වස්තුව ලංකාවට වැඩම විය යුතු කාලය පැමිණෙන තුරු ශ්වේද ගොන් චෛත්‍ය රාජයාගේ භාර කාර මහතුන් විසින් චෛත්‍යරාජයා සමීපයෙහි වූ විශේෂ මන්දිරයක තැන්පත්කොට ආරක්ෂාකර සුදුසු කාලය පැමිණි කල්හි ලක්දිවට යැවීම පිණිස බුරුමයේ ආණ්ඩුකාර තුමාට භාර කිරීමටද එතුමා විසින් එය රාජකීය භාණ්ඩයක් වශයෙන් ලංකා ආණ්ඩුකාරතුමා වෙත එවීමටද ලංකා ආණ්ඩුකාරතුමා විසින් මහ ඇමතිතුමාගේ මාර්ගයෙන් රුවන්වැලි චෛත්‍යය රාජයා මත පැළඳවීම සඳහා චෛත්‍ය වර්ධන සමිතියට භාර කිරීමට නියම කර ගන්නාලදී.මේ උත්තම වස්තුව රුවන්වැලි සෑය චෛත්‍ය වර්ධන සමිතියේ ආරාධනාවෙන් බුරුම ජාතික විනයා ලංකාර හිමි රුවන්වැලි සෑයේ පැළදූහ