Hela Rahas

Hela Rahas Official Web Portal

ස්නානය නතර කර විට සිදුවෙන දේවල් 10ක්

දිනපතා හෝ දවසක් හැර දවසක් ස්නානය කිරීමට බොහෝ අය පුරුදුව සිටිනවා. කායික ක්‍රියාශීලී බව නිසා සිරුරේ දහදිය පිටවීම හා ඒ ආශ්‍රිතව නරක දුගඳ ඇතිකරන බැක්ටීරියා ක්‍රියාත්මක වීම වගේම කුණුදුහුවිලි, විෂදුම්, අපද්‍රව්‍ය ආදී බාහිර පරිසරික සාධක නිසා අපේ සම අපවිත්‍ර වීම සිදුවේ. ස්නානය කිරීම පුද්ගලයාගේ සනීපාරක්ෂාව සඳහා ඉතා වැදගත් වගේම ඉන් නීරෝගි සෞඛ්‍යයසම්පන්න බව වැඩිදියුණු වීම ද සිදුවේ. නමුත් ස්නානය කරන්න අකමැති, කම්මැලි අයත් අප අතරේ ඉන්නවා. නමුත් මේ අයහපත් පුරුද්ද ඔවුන්ගේ සෞඛ්‍යයට කොතරම් විශාල හානියක ඇතිකරනවා ද කියලයි අද අප කතා කිරීමට සූදානම් වන්නේ. ස්නානය නොකලොත් ඔබේ සෞඛ්‍යය අවදානමට ලක්කරමින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් කිහිපයක් ගැනයි මේ.

1.චර්ම ගැටලු

  • ස්නානය කිරීම නතර කිරීමෙන් දැනටමත් පවතින චර්ම රෝග ගැටලු වඩාත් බරපතල වී උත්සන්න අතකට පත්විය හැකියි. දහදිය බිබිලි මතුවීම සහ සමේ ‍රැඳි ඇති බැක්ටීරියා සහ කුණුදුහුවිලි එක්ව ක්‍රියාකිරීමට පටන්ගැනීමත් සමඟ සම මත කසනසුලු බවක් වර්ධනය වේ. නියපොතු වලින් සම කැසීම නිසා සම හානියට පත්වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සම ආසාදනයන්ට ලක්වීම පවා සිදුවිය හැකියි.

2.ආසාදන තත්වයන්

  • වැසිකිළි භාවිතයේදි, පොදු ප්‍රවාහන හා ස්ථාන වල ගැවසෙන විට සිරුරට අහිතකර බැක්ටීරියා හා රෝග කාරක විෂබිජ වලට අපේ සම නිරාවරණය වේ. සමේ ‍රැඳුණු මෙවැනි විෂබීජ සබන් යොදා පිරිසිදු කරගැනීමෙන් පමණක් ඉවත් වේ. එසේ නොමැතිව ස්නානය කිරීමෙන් වැළකී සිටින විට සිදුවන්නේ මේවා ඔබේ අත්, නාසය, මුඛය හරහා ශරීරගත වීමය. ඉන් පීඩාකාරි උණ සෙප්‍රතිශ්‍යාව , හෙපටයිටීස් A සහ වෙනත් භයානක ආසාදන තත්වයන්ට පවා ගොදුරු වීමට ඉඩ ඇත. දෑත් නිතර සබන් දා සෝදා පිරිසිදු කරගන්න යැයි කුඩා කාලයේ පටන්ම අපට උපදෙස් ලබාදෙන්නේ මේ නිසයි.

3.දිලීර වර්ධනය වීම්

  • ස්නානය නොකල විට සමේ දිලීර සහ වෙනත් චර්ම ආසාදන තත්වයන් වර්ධනය වීමට ඉඩ ඇත. සම මත, මුඛය ඇතුලත සහ ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව දිලීර විශේෂයන්ට වර්ධනය හැක.එබැවින් මෙම ප්‍රදේශ හොඳින් පිරිසිදුව පවත්වාගැනීම වැදගත් වේ.

4.අධිකව මැරුණු සම එක් ‍රැස් වේ

  • ස්නානය කරන විට සම ඇතිල්ලීමේදි සම මතුපිට ‍රැඳී තිබෙන මැරුණු සෛල ඉවත්වි යාම සිදුවේ. නමුත් ස්නානය කිරීම නතර කලොත් ඔබේ මුලු සිරුරේම සම මත මැරුණු සම කිලෝග්‍රෑම් 4 ක් පමණ එක් ‍රැස් වීමට ඉඩ ඇති බවයි සඳහන් වෙන්නේ.ඉන් සමේ සිදුරු අවහිර වූ වෙනත් චර්ම ගැටලු වුවත් උත්සන්න විය හැකියි.

5.සිරුරෙන් පිළිකුල් සහගත ප්‍රබල දුර්ගන්ධයක් වහනය වීමට පටන්ගැනීම

  • සිරුරෙන් පිටවන දහදිය දුගඳකින් තොර වේ. ඒ ආශ්‍රිතව වර්ධනය වන නරක බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරීත්වය නිසා දුර්ගන්ධය ඇතිවේ. තමන්ගේ දහදිය දුගඳ දිගුකලක් තිස්සේ දැනෙන විට නාසයට එය හුරුවි පුද්ගලයාට තවදුරටත් තම සිරුරේ දහදිය දුගඳ වෙනම නොදැනීම සිදුවේ.ඔබේ දහදිය දුගඳ ඔබට නොදැනුනත් ඔබ වටා සිටින අන් අයට ප්‍රබලව දැනේ. මෙය අන් අය ඔබව පිළිකුල් කිරීමට හේතුවන තත්වයක් විය හැකියි.

6.සනීපාරක්ෂාව අඩුකම හේතුවෙන් ශ්‍රෝණි ප්‍රදේශයේ ගැටලු මතුවේ

  • ලිංගික ප්‍රදේශ නිතිපතා පිරිසිදුව තබාගැනීම වැදගත් වේ. මෙම ප්‍රදේශයේ සම සංවේදී බවින් වැඩියි වගේම යීස්ට් වැනි දිලීර ආසාදනයට ලක්වීමේ ප්‍රවණතාව වැඩිය. එමෙන්ම පිරිසිදු නොකල විට පිළිකුල් දුර්ගන්ධයන් ඇතිවිය හැකියි. සමේ එක් ‍රැස් වූ අපද්‍රව්‍ය සහ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා කසනසුලු බවක් සහ අපහසුකාරී බවක් එම ප්‍රදේශය ආශ්‍රිත සමේ හටගත හැක.

7.කුරුලෑ වර්ධනය වීම

  • සම හොඳින් පිරිසිදු නොවන විට සමේ සිදුරු අවහිර වී කුරුලෑ වර්ධනය වීමට පටන්ගනියි. ස්නානය නොකිරීමෙන් මුහුණේ, කොන්දේ, තට්ටම් ප්‍රදේශ වල පවා එසේ කුරුලෑ වර්ධනය වීමට ඉඩ තිබේ. බැක්ටීරියා වර්ධනය ඉහළ යාමත් සමඟ රෝම කූප ප්‍රදාහයට ලක්වීමට පටන්ගන්නා අතර අධිකව ස්නේහක (තෙල්) ශ්‍රාවය වීමට පටන්ගනියි. මේ බලපෑමින් සම පුරා තැනින් තැන කුරුලෑ මතුවීම සිදුවේ.

8.සමේ දුඹුරු පැල්ලම් හටගැනීමට පටන්ගැනීම

  • සමේ හටගන්නා මෙම දුඹුරු කැලැල් හඳුන්වන්නේ ‘dermatitis neglecta’ නමිනි. මෙම චර්ම ප්‍රදාහ තත්වය හටගන්නේ අධික කුණුදුහුවිලි ප්‍රමාණයක් , දහදිය, බැක්ටීරියා සහ තෙල් සමේ ‍රැඳීම නිසාය. ස්නානය නොකිරිමෙන් මෙවැනි සම අවලස්සන කරවන චර්ම ගැටලු හටගත හැක.

9.සමේ කසනසුලුබව

  • නිතිපතා ස්නානය නොකරන විට සමේ එක් ‍රැස් වී ඇති බැක්ටීරියා, විෂබීජ, කුණුදුහුවිලි සහ දහදිය එකට එක්වීම නිසා සමේ තදබල කැසිල්ලක් ඇතිවිය හැකියි. මින් ඔබට දැඩි අපහසුතාවක් ඇතිවිය හැක.

10.හිසකෙස් වලට අහිතකර බලපෑම් ඇතිවේ

  • හිසකෙස් සහ හිස්කබල හොඳින් පිරිසිදු නොවීම නිසා කෙස්කලඹ ආශ්‍රිත ගැටලු පීඩා මතුවීමට බොහෝ ඉඩකඩ ඇත. විශේෂයෙන්ම හිස්කබලේ තෙල් සහ මැරුණු සෛල එක් ‍රැස් වි ඉස් හොරි වර්ධනය වීම, උකුණන් බෝවීම හා උකුණන් නිසා හිස්කබලේ තුවාල හටගැනීම, හිසකෙස් වල තෙල් අධික ස්වභාවයක් ඇතිවීම, හිසෙන් දුගඳක් හැමීම ආදි ගැටලු ඇතිවිය හැකියි.එබැවින් දවසක් හැර දවසක් ස්නානය කිරීම හෝ සතියකට දෙවරක් ස්නානය කිරීම ඔබේ එදිනෙදා ජිවිතයේ පුරුද්දක් කරගන්න.