Hela Rahas

Hela Rahas Official Web Portal

ගෙවත්තෙන් නොමිලයේ ලැබෙන දේව ඔසුව ‘ උදුපියලිය’

පයට පෑගුනත් ඇස්පෙනීම වඩවන උදුපියලිය උදුපියලිය යනු එලිමහන් බිම්වල , ගෙමිදුලෙහි පොලවට සමාන්තරව ඉතා අලංකාර ලෙස වර්ධනය වන බලවත් ඖෂධීය පැලෑටි වර්ගයකි. දිනපතා උදෑසන පාවහන් නොමැතිව ගෙවත්තෙහි ඇවිදීමෙන් නීරෝගිත්වය පිරි දීර්ගායූ ලැබෙන බව එදා ගැමියන් විශ්වාස කලේ මෙවැනි පැලෑටි පයට පෑගීමෙන් පවා ඖෂධ ගුණය ලැබෙන නිසාවෙනි. හීන් උදුපියලිය ,බෙහෙත් උදුපියලිය , කැද උදුපියලිය වැනි විවිධ නාම වලින් උදුපියලිය වර්ග කරයි.

ශරීරයේ පවතින රෝග රැසකටම උදුපියලිය ඔසුවක් ලෙස ගැනීම සිදු කරයි.වේදනා නාශකයක් ලෙස,විෂ නාශකයක් ලෙස, ශක්ති ජනකයක් ලෙස, කුසගිනි වර්ධකයක් ලෙස ක්‍රියා කරයි. ඇස් වල ස්නායු සංකූලතා හේතුවෙන් දුර්වල වූ පෙනීමක් පවා උදුපියලි ප්‍රතිකර්මයක් මගින් සුව කල හැකි වීම මෙම ඔසුවෙහි බලවත් බවට කදිම උදාහරණයකි.

මධ්‍යම පලාතෙහි කැඩුම් බිදුම් වෙද ශිල්පයට ප්‍රධාන වශයෙන් උදුපියලිය යොදාගෙන ඇත.

—— එදිනෙදා ජීවිතයට උදුපියලිය ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කල හැකි ක්‍රම ——

  1. සෙංගමාලය , අතීසාරය ,ශරීරයෙහි විෂ ,ඇස් රෝග ආදියට කැද ලෙස සකස් කොට භාවිතය කදිමය.
  2. ලදරුවන්ගේ අජීර්ණයට ,හීන් උදුපියලිය යුෂ ස්වල්පයක් ලබාදීම කදිමය.
  3. බඩ පිපුමට, උදුපියලිය මද පවනේ වේලා කුඩු කර කෝපි පානයක් ලෙස ගැනීම කරයි. තවද මෙයට උළුහාල් කුඩු තේ හැදි භාගයක් දමා සකසා ගැනීම මධුමේහයේදී ඇතිවන පිපාසයට කදිමය.
  4. රක්ත වාතයට හීන් උදුපියලිය, අමුකහ, කයිප්පු තැඹිලි වතුරින් අඹරා තලපයක් ලෙස ගෙන කකුලෙහි පැලී ඇති තැන් වල ආලේපය මගින් ඉක්මන් සුවය ලැබේ.
  5. විසර ගෙඩි සදහා හීන් උදුපියලිය ,කෝමාරිකා මද, පෙරුම්‍කායම්, අමුකහ දල්ලක් පොල්කිරි වලින් තම්බා අඹරා විසර ගෙඩිය වටා ආලේප කරන්න.
  6. පරණ තුවල සදහා හීන් උදුපියලිය දලු මිටක් ,අමුකහ ස්වල්පයක් සහ රත් හදුන් ඇල්වතුරින් ගලක අඹරා තලපයක් ලෙස ගෙන උණුවතුරින් තවා පිරිසිදු කරගත් තුවාලය මත ආලේප කිරීමෙන් සුව වේ.
  7. කිරි දෙන මව්වරුන්ගෙ කිරි වර්ධනයට උදුපියලිය අඹරා පුවක් ගෙඩියක ප්‍රමාණයක ගුලියක් එලකිරි සමග මිශ්‍ර කොට උදෑසන පානය කරන්න.
  8. තොල් පැලීමට උදුපියලිය විටක් මෙන් සපා කෙල ගිලීම මගින් සුව වේ.
  9. මූත්‍රා අඩස්සිය ඇත්නම් මුලු පැලෑටි කොටසම තම්බා පානය ගුණ දෙයි.
  10. පත්තෑ විෂට පැලෑටිය දෙහි ඇඹුලින් අඹරා ගෑමද , පොලොන් විෂට උදුපියලිය යුෂ පතක් දීම සිදු කරයි.

තවද උදුපියලිය පානය ශරීර අධික උෂ්ණත්වය සමනය කොට සෞම්‍ය සිරුරක් ලබා ගනිමින් රූපලාවණ්‍ය වශයෙන්ද ප්‍රතිඵල රැසක් ලබා ගත හැකිය.

—— උදුපියලිය පානය ——

අවශ්‍ය ද්‍රව්‍ය :

• අමු උදුපියලිය මිටක්
• ලුණු ස්වල්පයක්
• සීනි තේ හැදි 2ක්
• ගම්මිරිස් කුඩු ස්වල්පයක්
• දෙහි තේ හැන්දක ප්‍රමාණයක්

සාදන ආකාරය :

උදුපියලිය මිට හොදින් සෝදා එයට වතුර වීදුරුවක ප්‍රමාණයක් එක් කොට හොදින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසුව පෙරා එයට සීනි ,ලුණු ,ගම්මිරිස් සහ දෙහි යුෂ එක් කොට හොදින් මිශ්‍ර කර පානයට ගන්න. උදෑසන හිස්බඩ පානය ඉතාමත් කදිමය.