ප්‍රතිශක්තිය වර්ධනය කරන අපිට නොවටින ශාකය

Articles

ශ්‍රී ලංකාවේ වියළි දේශගුණයක් ඇති කලාපවල පහසුවෙන් සොයාගත හැකි ඖෂධීය ගුණයකින් යුතු ශාකයක් ලෙස අශ්වගන්ධ හැඳින්විය හැකියි.අශ්වගන්ධ ශාකයෙහි මල් පිපෙන අතර රතු පැහැති ඵලයක් දක්නට ලැබේ . මීටර් එකක් පමණ උසකින් යුතු ,පඳුරු වශයෙන් සෑදෙන මෙම ශාකයෙහි කඳ කොටසෙහි බූව ඇත.මෙම ශාකයෙහි අතු බෙදෙන අණ්ඩාකාර පත්‍ර පිහිටන අතර එම පත්‍රවල යටි පැත්තෙහි සිහින් තාරකාකාර බූවක් තිබේ . 

අශ්වගන්ධ ශාකය අයත් වන්නේ SOLANASEAE කුලයටයි . withania somnifera (L) Gunal යන උද්භිද  විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ලබන අශ්වගන්ධ සඳහා භාවිත වන තවත් නම් රාශියක් පවතියි . බලජාවාජිනි , අශ්වාරෝහිකා , අශ්වකන්ධිකා , තුරඟී , පාලපර්ණි , ශ්‍යාමලා , අමුක්කරා , අවරෝහිකා වාතඝනී , තුලාංහණී , බල්‍යා , තුරඟී , වාරිගන්ධා යන නම්වලින් ද හඳුන්වනු ලබන්නේ අශ්වගන්ධ ශාකයයි . 

අරාබි සහ අප්‍රිකානු රටවල වියළි ප්‍රදේශවල , උතුරු ඉන්දියාව,පාකිස්ථානයේ උතුරු ප්‍රදේශ ආශ්‍රිතව මෙම ශාකය සොයා ගත හැකි ය.මෙම ශාකයෙහි මුල් පොඩි කිරීමෙන් අශ්වයකුගේ මුත්‍රා හා සමාන ගන්ධයක් නිකුත් වන බැවින් අශ්වගන්ධ ලෙස හඳුන්වනු ලබයි.එය මෙම ශාකය සොයා ගැනීමට තිබෙන උපක්‍රමයකි . බොහෝ දෙනකු නොදන්නවා වුව ද මෙම අශ්වගන්ධ ශාකය විශාල ඖෂධීය ගුණයකින් යුතු ය . 

මිනිස් සිරුරේ සියලු ම ඉන්ද්‍රිය පද්ධති හා සම්බන්ධව ඇති වන රෝග සුව කිරීම සඳහා මෙම අශ්වගන්ධ ශාකය උපකාරී වේ.ඖෂධ සෑදීම සඳහා බහුලව යොදාගනු ලබන්නේ මෙම ශාකයෙහි මූල පද්ධතියයි.එම මූල පද්ධතියෙහි විෂ නැසීමේ ගුණයක් ගැබ් වී තිබේ.සිරුරේ ඇති විෂ නසමින් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට අශ්වගන්ධ කදිම ඖෂධයකි .

අශ්වගන්ධ ඖෂධයක් ලෙස වඩාත් ප්‍රචලිත වන්නේ ස්නායු රෝග සඳහා ය.ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ස්නායු පණ ගැන්වීම සඳහා කසාය සැකසීමට අශ්වගන්ධ ශාකය යොදා ගනු ලබයි.මෙය ස්නායු උත්තේජකයක් වේ.ස්නායු දුර්වල වූ පුද්ගලයෙකුගේ ස්නායු නැවත පණ ගැන්වීමට මෙය වටිනා ඖෂධයකි . අශ්වගන්ධ තුළ ඇති ක්ෂාරීය ඇලකොයිඩ මධ්‍ය ස්නායු පද්ධතියට හා කොඳු ඇටපෙළට බලපායි.එම ස්නායු උත්තේජක ගුණය නිසා සිරුරේ වේදනාවන් නැති කිරීම,කුසගිනි ඇති කිරීම , සුව නින්දකට මඟ පෑදීම අශ්වගන්ද ඖෂධය මඟින් සිදු කරයි . 

අශ්වගන්ධ මඟින් සිරුරේ රුධිරය පිරිසිදු කරයි.රුධිරය පිරිසිදු වන නිසා සිරුර පෘෂ්ඨිමත් ව තබා ගැනීමට මෙය ඉවහල් වේ.අකලට මහලු වීම , සම රැලි වැටීම වළක්වමින් සිරුරේ පැහැපත් බව හා කාන්තිමත් බව රැක දෙයි . අශ්වගන්ධ 500mg පමණ දිනකට ගත හැකි නම් එදිනෙදා කටයුතු ප්‍රාණවත්ව හා ප්‍රබෝධමත්ව සිදු කිරීමට හැකි බව පැරැණ්නන්ගේ විශ්වාසයකි . 

අශ්වගන්ධ යනු ලිංගික දුබලතා සඳහා ද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.අශ්වගන්ධ අරිෂ්ටය , අශ්වගන්ධ තෛලය මඟින් ලිංගික ශක්තිය වැඩි කරයි.වාජීකරණ ඖෂධයක් ලෙස පුරුෂ ලිංගික දුර්වලතා පහසුවෙන් සුව කර ගැනීමට අශ්වගන්ධ මඟින් හැකියාව ලැබේ.ස්ත්‍රීන්ගේ වඳභාවය සුව කර ගැනීමට ද ඖෂධයක් ලෙස අශ්වගන්ධ භාවිත කිරිම දක්නට ලැබේ . පුරුෂයන්ගේ ශුක්‍ර රෝග මැඬ පැවැත්වීමට ද අශ්වගන්ධ ඖෂධීය ශාකයට ඇත්තේ අපූර්ව හැකියාවකි . 

සන්ධි ඉදිමීම වැනි රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ද මෙම අශ්වගන්ධ ඖෂධය භාවිත කරයි . එහි දී අශ්වගන්ධ අල , මුල් මෙන් ම ඇතැම් අවස්ථාවල සම්පූර්ණ ශාකය ම සන්ධි ඉදිමීම සුව කර ගැනීම සඳහා යොදා ගනියි . පිළිකා රෝගය සුව කර ගැනීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මෙම ශාකය යොදාගැනීම දක්නට ලැබේ . අධික වෙහෙසකර තත්ත්වයන්වල දී අශ්වගන්ධ ශාකයෙන් සාදාගත් අරිෂ්ට පානය කිරීමෙන් විඩාව දුරු වෙයි .

ක්ෂය රෝගය , ඇදුම , පාන්ඩුව හා රක්තහීනතාවය වැනි රෝග සුවපත් කිරීමේ හැකියාවක් ද අශ්වගන්ධ  ශාකයට තිබේ . ඇතැම් පුද්ගලයින්ගේ නාඩි දුර්වලතා හේතුවෙන් ඇති වන විවිධ සංකූලතා සුවපත් කර ගැනීමට පවා මෙම ඖෂධය භාවිත කරයි.විශේෂයෙන් ම වයස්ගත පුද්ගලයින් පුද්ගලයන්ගේ වාත රෝග සමනය කර ගැනීමට අශ්වගන්ධ තෛලය ආලේප කරනු ලබයි .

අපස්මාරය , සිරුරෙහි ඇතිවන වණ , සුදු කබර , ශරීරය අධික ලෙස කෘෂ වීම වැනි රෝග සුවපත් කර ගැනීමට ඖෂධ සැකසීමේ දී අශ්වගන්ධ ශාකය බහුලව යොදා ගනියි.සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස වැනි රෝග වළක්වමින් සිරුරෙන් ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට ද මෙය වටිනා ඖෂධයකි . 

කෘෂිකාර්මික කටයුතුවල දී කෘමිනාශකයක් වශයෙන් ද යොදා ගනු ලබන මෙම අශ්වගන්ධ ශාකය බොහෝ රෝග වළක්වා ගැනීම සඳහා මෙන් ම ඇතැම් රෝග සුව කර ගැනීම සඳහා ද අතීතයේ සිට වෙදැදුරන් විසින් භාවිතයට ගෙන ඇති බව ඉපැරණි පොතපතෙහි සඳහන් වේ.නමුත් කිසියම් රෝගයක් සඳහා මෙම ඖෂධය ශාකය යොදා ගන්නා විට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ද අනිවාර්යයෙන් ම සිදු කළ යුතුය.