කටුසු වෙසින් මැදියම් රැයේ පිරිමින් සොයා එන බෝදිලිමා

Astrology

ඉස්සර කාලෙ ඉඳලම අපේ පැරණි ගැමියෝ යක්ෂයෝ භූතයෝ වගේ අමුනුෂ්‍ය බලවේග ගැන විශ්වාස කළා නේ. අදටත් ඉතින් ඔය ගැහැණුන්ට වැහෙන මිනිසුන් භය කරන අදෘශ්‍යමාන භූතයෝ ඉන්න බව ගොඩක් අය පිළිගන්නවා. ගුරුකම් කට්ටඩිකම් අදටත් මේ ගම්වල තියෙන්නේ ඔය යක්ෂයෝ භූතයෝ විශ්වාස කරන නිසානේ. ගැමියන් බයට පත්වෙන මේ භූතයන් අතරින් ඔය බෝදිලිමා කියන ගුප්ත බලවේගය ඉතා ඉහළින් විශ්වාස කරනවා.බෝදිලිමාගේ අවතාරය පිරිමින් බය කළත් ගැහැණුන්ට බය භූත ආත්මයක් විදියට තමයි ගැමියෝ සලකන්නේ. 

රජරට නුවර කලාවිය, කඳුරට සහ වයඹ සත්කෝරල බද පිටිසර බද ගැමියන්ට නම් මේ බෝදිලිමා අවතාරයේ තරම අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ ගම්මානවල පැරැන්නෝ මේ බෝදිලිමා අවතාරය නිසා භීතියට පත්ව දිවි ගෙවූ අය කියලයි කියා සිටින්නේ. ඒ පැරනි ගැමි ජනතාවට අනුව බලමුකෝ මේ බෝදිලිමා කියන්නේ කවුද කියලා.

ඒ ගම්මුන්ට අනුව නම් ඉතින් මැදියම් රැය පහුවෙනකොට ඈත වනපෙතකින් ඇසෙන විලාපය බෝදිලිමාගේ. ඉතාමත් වේදනාවෙන් පෙළෙන අසාධ්‍ය රෝගියෙකුගේ කෙඳිරිල්ලක් විදියට ඇහෙන මේ විලාපය අහන් ඉන්න හරිම අමාරු බවක්ලු තියෙන්නේ.මේ බෝදිලිමා කියන භූත ආත්මය ගැන ගැමියන් අතර ප්‍රකට ජනප්‍රවාදයක් තියෙනවා.

අතීතයේ එක්තරා තරුණ අඹුසැමි යුවලක් වාසය කළා.කාලයාගේ ඇවෑමෙන් ඒ බිරිඳ දරුවෙකු ප්‍රසූත කරන්නට දින නියම වුණා. ඒත් ඇතිවුණු උපද්‍රවයක් නිසා ගැබිනියගේ කුස තුළ ම දරුවා මිය ගිය අතර ඒ වේදනාවෙන් ම අඳෝනා නගමින් ගැබිනියත් අවසන් හුස්ම හෙළුවා. මේ ආකාරයෙන් වේදනාවෙන් තමා මියයාමට හේතුවුණු තම සැමියා කෙරෙහි වෛර බැඳ පිරිමි සංහතියටම දේවේශ කරමින් මියගිය ඒ ගැබිනි කාන්තාව පසුව බෝදිලිමා ආත්මය ලබා පිරිමින්ගෙන් පලිගැනීමට එන බව ජන කතාවෙන් කියවෙන්නේ.

අදටත් උලමෙකු කෑගසන ශබ්දය ඇසුණත් මිනිසුන්ට මහ බියකරු පාලු හැඟීමක් ඇති කරනවා.උලමා මැදියම් රැයේදී හඬනවා වගේම මේ බෝදිලිමාත් මැදියම් රැයේ දී ප්‍රසූත වේදනාවෙන් කෙඳිරිගාන් ස්වරූපයෙන් විලාප තියන බවයි ගම්මුන් කියන්නේ. මේ ගම්මු කියන බෝදිලිමා පිරිමින් සොයාගෙන එන්නේ පලිගන්නලු නේ. 

ඉතින් ඔය බෝදිලිමාගේ කෙඳිරිය ඇහෙන  වෙලාවට ගෙවල්වල කාන්තා පාර්ශවය ගෙදර පිරිමියා ගෙට යවලා එලියට එන්නේ මුත්‍රා කරපු ඉලපතක්  අතේ තියාගෙන. ඒත් නිකන්ම නෙවෙයි. හොදවැයින් කුනුහර්ප දෙක තුනකුත් කියාගෙන.තොට හෙණ ගහපිය..තෝ මකබෑවෙය…තෝ මගේ මිනිහා ලගට එන්නේ කැන්දා ගන්නැයි  ද කියමින් දෙස් දෙවොල් තියලා බැණ අඩගහද් දි ඒ අඳෝනාව වහාම නතර වෙනවා. මේ බෝදිලිමා අවතාරෙ පන්නා ගන්න ගෙදර බිරින්දෑවරු තමන් හැඳ සිටින වස්ත්‍රය ඔසවලා රහස් ඉන්ද්‍රියත් පෙන්නවලු. ඕන් එතකොට ඔය බෝදිලිමා පැත්ත පලාතේ ඉන්නේ නැහැලු. 

ඒ විතරක් නෙවෙයි මේ නුවර කලාවිය ගැන බොහෝ උගතුන් ලියපු පොත්පත්වල බෝදිලිමගෙන් බේරෙන්න පිරිමි පර්ශවය කරන කෙම් ක්‍රමයකුත් සඳහන් වෙනවා. ඒ තමයි බෝදිලිමාගේ හඬ ඇහෙන දිසාව බලලා අංකිරි ගොට්ටක් තැබීම. මේ කතුවරු දක්වා තියෙන විදියට ඒ ශුක්‍ර ධාතු. 

මේ බෝදිලිමාගේ අවතාරය ගැන පැහැදිලි ස්වරූපයක් නැහැ.පැරැන්නෝ කියන්නේ හරියට ඉත්තෑවෙක් වගේලු.කුඩා හිසක් තියෙන පහළ විශාල කළු ගුලියක් වගේ කියලා තමයි ඔවුන් පවසන්නේ .

ගෙදර ඉද්දි පිරිමින් බෝදිලිමාගෙන් බේරුණාට ගම්මු කියන විදියට නම් මග තොටේ දී, හේනේ පැලේ පැල් රකිද්දි එහෙම හමුවුණොත් ඉවර තමාලු. ගුරුකම් කට්ටඩිකම් දන්න අයට නම් ගැටළුවක් නොවෙන වග තමයි කියන්නේ. පිරිමි පාර්ශවයට තනිපංගලමේ පැල් රකිද්දි මේ බෝදිලිමාගේ අවතාරය ආවම බෝදිලිමාව පන්නා ගන්න සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව 7 වරක් තෙල් ටිකක් අරගෙන මතුරා ඒ තෙල් ටික පොල් කටුවකට දමා අඳෝනාව ඇහෙන දෙසින් තියලා “ඉදා මේ ටික බඩේ ගාගනින් එතකොට උඹේ ඔය රුජාව ඇරිලා යයි” යනුවෙන් කියනවා. ඊට පස්සේ අර අඳෝනාව නැතිව යන බවයි ගම්මු කියන්නේ. බෝදිලිමා මන්තර ගාථාවලට බය වුණාට තුවක්කුවලට බය නැහැ කියලයි කියවෙන්නේ.

මේ පැරැන්නෝ කියන බෝදිලිමා අවතාරය මෙරට සිරකරුවෙකුව හිටපු රොබට් නොක්ස් ඔහුගේ “An Historical Relation of the Island of Ceylon “ පොතේ සටහන් කරලා තියෙනවා.  “යකෙකු රාත්‍රී කාලයේ නිතරම නගන හඬක් මා ද නිතරම අසා ඇති බව මෙහිලා පල කළ යුතුය.වරෙක බල්ලෙකු නඟන අදෝනාවක් සේ ඇසේ….මේ හඬ ඇසෙත්ම මිනිසුන් හා ගැහැණුන් ගෙරි මස් කන වලා තෝ හැඳි ගෑවෙයි නොදකින් විතරක් දෑහැට නොපෙනී පල කියමින් ශාප කරති.එකෙනෙහි මේ අඳෝනාව අතුරුදන් වෙයි. නොක්ස් දැකපු විදියට පැරැන්නන්  මේ කියන බෝදිලිමා අවතාරයෙන් හෙම්බත්වී සිටි බව සිතා ගන්න පුළුවන්. 

ආර්.එල්. බ්‍රෝහියර් සඳහන් කරන ආකාරයට බෝදිලිමා පන්නා ගන්නට නිවසින් එළියට එන ගැමි කාන්තාවන්ගේ කතා විලාසය සහ ක්‍රියාකලාපය ඔය අහිංසක බෝදිලිමා පමණක් නොවෙයි යක්ෂ සේනාවක් වුවත් පන්නා දැමීමට වුවත් සෑහෙන බවයි.

බෝදිලිමා ඊරි යකා, මහසෝනා වගේ යක්ෂයෙකු නොවන අතර දරුවා කුස දරා සිටිය දී  ප්‍රසූත වේදනාවෙන් මියයන ස්ත්‍රීන්ට මරණයෙන් පසුව මුහුණ දෙන්න වෙන ඛේදනීය ඉරණමක් ලෙසයි ගම්මුන් සලකනු ලබන්නේ. එවැනි ගැබිනියක් මිය ගියොත් උදරය කපා කලලය වෙනම ස්ථානයක වළදැමීමෙන් ඒ බෝදිලිමා අවතාරය වීමේ අවධානමෙන් වැළකෙනවා.මේ බෝදිලිමා අවතාරය ගැන වැඩි වශයෙන් තොරතුරු හමුවෙන්නේ නුවර කලාවියේ ගම්මුන්ගෙන්. ඔවුන් කියන විදියට ගැබිනියක් මිය ගියාම සිරුරේ කට හාල් ලෑමෙන් මරණයෙන් පසු ඇය බෝදිලිමෙකු වීමෙන් ගලවා ගනු ලබනවා. 

පි.බී.මනෑවසූරීන් විසින් ලියපු “නුවර කලාවියේ ජනවහර ” පොතේ මේ බෝදිලිමාගේ විශ්වාස විග්‍රහ කරමින් කටහාල් ලෑම ගැන පැහැදිලි කරන්නේ බුලත් කොළයක එතූ සහල් ඇට කිහිපයක් සහ කාසියක් මළ සිරුරේ මුඛය තුළට බහාලීම ලෙසයි. 

මේ බෝදිලිමා අවතාරය තමන්ගේ දුක කියන්න එන බවකුත් ගම්මුන් අතර තියෙනවා. ඉතින් මේ ගම්වල ඇත්තෝ කෙම් ක්‍රමත් කරලා තියෙනවා බෝදිලිමාගෙන් බේරෙන්න. ඒ බෝදිලිමාගේ හඬ ඇහෙන දිසාවට මුහුණලා නිවසේ එළිපත්ත මත් දැල් වූ පහනක් එක්ක ගම්මිරිස් කොළ කිහිපයක් තබනු ලබනවා. රාත්‍රියට එන බෝදිලිමා මේ පහන් දැල්ලෙන් ගම්මිරිස් කොළයක් රත් කරගෙන උදරය තවාගෙන නැවත යන බවට ඔවුන් විශ්වාස කරනවා. ගම්මිරිස් වෙනුවට බුලත් හෝ මිරිස් කොළ නොතියන්න ගම්මු වග බලා ගන්නේ නිවැසියන් තමන්ට ආරාධනා කරනවා යැයි බෝදිලිමා වරදවා සිතන නිසා.

මේ ගම්මු විශ්වාස කරන, ප්‍රලාපයක් විදියට සම්පූර්ණයෙන්ම බැහැරලිය නොහැකි බෝදිලිමා මරණයට පත් කිරීමට වෙනම වැඩ පිළිවෙලක් තිබුණු බව කියවෙනවා.එහිදී බිය නැති හැදි දැඩි පිරිමියෙක් ගිනි අවියක් අරගෙන මල් පැලක් ගසා එහි පහනක් දල්වා බුලත් කොළ කීපයක් තබා විමසිල්ලෙන් සිටීමයි. ඒ අතරෙ එන බෝදිලිමා ඒ බුලත් කොලයක් අරගෙන පහන් දැල්ලෙන් රත් කරනවා. ඒ ඇසිල්ලේ බෝදිලිමාට වෙඩි තැබිය යුතු බවත් පහුවදාට මල්පැල අසල වැටී මැරී සිටින කටුස්සෙකු දැකියි හැකි වෙන බවත් ගම්මු කියනවා .   

ඈත අතීතයේ පැරන්නන් මේ බෝදිලිමා අවතාරයක් ලෙස විශ්වාස කරමින් ඒ සම්බන්ධ කෙම් ගුරුකම් සකසාගෙන ජිවත් වුණු බව මේ පැරණි ජනප්‍රවාද ඇසුරෙන් වගේම විවිධ පොත්වලත් සඳහන්. නමුත් විද්‍යානුකූලව බැලුවොත් ඇත්තටම මේ බෝදිලිමා අවතාරය මිත්‍යාවක් බවට පත්වෙනවා.

සත්ත්ව විද්‍යාඥයන්ට අනුව  මේ බෝදිලිමා ඇත්තටම කටුසු විශේෂයක්. ඇනස්ලම් ද සිල්වා මහතා කියන පරිදි මිනිසා බය කරවන බෝදිලිමා යක්ෂයෙකු නොව ප්‍රමාණයෙන් විශාල කටුස්සෙක් පමණයි. අවස්ථානුකූලව ශරීර වර්ණය වෙනස් කර ගැනීමේ හැකියාවක්  ඇති මේ බෝදිලිමා  ගම්මු කියන විදියට රෑට හොල්මන් කරන්නේ නම් නැහැ. මොකද බෝදිලිමා  නින්දට යන්නේ හවස 5 ඉඳල පසුදා උදෑසන 6 වන තෙක්. ඒ වගේම පැරැන්නන්ට අනුව මේ බෝදිලිමා අඳෝනාව නගන්නේත් නැති ටිකක් කම්මැලි සතෙක් .

කොහොමවුණත් පරම්පරාගතව පැවතෙන නිසා හෝ විචාර බුද්ධියෙන් තොරවීම නිසා හෝ ගැමියන් බෝදිලිමා ගැන දැඩි විශ්වාසයකින් පසුවෙනවා. තමන් අත්දුටු සිදුවීම් ලෙසට ගැමියන් පවසන මේ බෝදිලිමා නිසැකව මිත්‍යාවක් ලෙසට බැහැර කිරීමට නොහැකියි. කොහොම වුණත් පැරණි ගැමියන් පැහැය වෙනස් කරන කටුස්සෙක් දැක්කම ඔවුන් සිතන්නේ ඒ රාත්‍රියට එන බෝදිලිමා දවල්ට කටුසු වෙස් ගත් බවක්.