Hela Rahas

Hela Rahas Official Web Portal

ග්‍රහ අපල දුරු කරන ක්‍රම 9ක්

අපේ ජීවිතේ සුභ කාල මෙන්ම අසුභ කාලත් තියෙනවා .ඉතින් බොහෝ මිනිස්සු   අසුබ කාලයක් එහෙමත් නැත්නම් කරදර රෝග පීඩා ආදියෙන්ගෙන් ගත කරන කාලයක්  අපල කාලය ලෙස හඳුන්වනවා.ඉතින් ග්‍රහ පලා පල කල්වේලා ඇතිව දැන ගැනීම මගින් මේ අසුභ කාලවලට අපට මුහුණ දීමට හැකියාව ලැබෙනවා.

නමුත් ඔබ මතක  තබාගත යුතු කරුණක් තමයි  ,තමන්ට අපලයක් ඇතැයි සිතමින් නිතරම බියෙන් කාලය ගත කරනවා නම් එයම ඔබගේ ජීවිතය අඩාල කරන අපලයක් විය හැකියි.ජෝතිෂ්‍යයට අනුව සුදුසු වේලාවන්හිදී තමන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාව සිදු කර ගනිමින් තමන්ට උදාවී ඇත්තේ අපල කාලයක් ද නැද්ද යන්න තීරණය කර ගන්න පුළුවන්.එසේ කිරීමෙන් අනවශ්‍ය ලෙස බිය වීමෙන් ඇතිවන මානසික පීඩනය නවත්තගන්නත්   හැකියාව තියෙනවා.

එමෙන්ම ඔබ ජන්ම පත්‍ර පත්‍රය පරීක්ෂා කර අවසානයේ තමන්ට අනාගතයේ හොඳ කාලයක් උදා වෙනවා යි සිතමින් වර්තමානයේ  අලසකමින් හෝ කම්මැලිකමෙන් කාලය ගත කිරීම ඉතාමත් මෝඩ වැඩක්,ඒ වගේම දැන් තමන්ට උදා වී ඇත්තේ තදබල අපල කාලයක් බව නිතර සිතමින් කාලය ගත කිරීමත් මේ හා සමානම අනුවණ ක්‍රියාවක්.ඉතින් අපි සිදු කළ යුත්තේ කුමක්ද?ප්‍රථමයෙන් අප සිදුකළ යුත්තේ ජෝතිෂ්‍ය පිළිබඳ නියමිත දැනුමක් හා නියමිත සුදුසුකමක් ඇති පුද්ගලයකු ලවා අපේ ජන්ම පත්‍රය පරික්ශා කර අපේ සුබ අසුබ කාලයන් දැන ගැනීමයි .

ස්වභාධර්මයෙන් නිරන්තරයෙන්ම අපිට ලැබෙන වර්ෂාව  ඒ වගේම අව්ව වගේ පීඩාකාරී දේවල් අතින් අල්ලලා අපිට නවත්තන්න බැහැ.නමුත් ඒවට තාවකාලික විසඳුමක් වශයෙන් කුඩයක් භාවිතා කිරීම ,වැහි කබායක් භාවිතා කිරීම ආදි විසඳුම් ලබා ගන්න පුළුවන්.ඉතින් ඒ වගේම තමයි විවිධ ග්‍රහයන්ගෙන් අපේ ජීවිතයට සිද්ධ වෙන අපල උපද්‍රව වලින් බේරෙන්නත් විවිධ ක්‍රම තියනවා .

1.රවි ග්‍රහ අපලයට 

  • රතු නෙළුම් මල් ,රන්වන් පාට මල්, රන් භාණ්ඩ ආදී දේ තෙරුවන්ට සඳහා පූජා කිරීම.
  • දෙවියන්ට පින් පිං අනුමෝදනා කිරීම
  • උදේ සවස මෝර පිරිත සජ්ජායනා කිරීම
  • මරණය ට කැප වූ සතුන් නිදහස් කිරීම 
  • විෂ්ණු ආඝෝර යන්ත්‍රය පැළඳ වීම
  • සූර්ය මණ්ඩල යන්ත්‍රය පැළඳ වීම
  • සෙත් කවි ගායනා කිරීම හා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම.(මෙම පුද පූජාවන් පැවැත්වීමට පෙර හොඳින් නා පිරිසිදු වීම යහපත් වේ.)

2.සඳුගේ අපලවලට 

  • සඳුගේ අපල සඳහා සමන් පිච්ච ,ඕලු මානෙල් වැනි මල් තෙරුවන්ට පූජා කිරීම සුදුසුයි.
  • සුදු පැහැති වස්ත්‍ර සිල්වත්  මෑණිවරුන්ට පූජා කිරීම.
  • උදේ සවස තුන් සූත්‍රය සජ්ඣායනා කිරීම හෝ කියවීම සිදු කිරීම
  • සියලු පුද පූජා පැවැත්වීමට ප්‍රථම අත්තික්කා සහ දිවුල් කොළ සහිත කොළ වර්ග නවයක් තම්බා ගත් වතුරෙන් දිය නා පිරිසුදු වී යාම ඉතා ගුණදායක වේ .මීට අමතරව ස්නානයට පෙර සඳුන් මිශ්‍ර කිරි හිස ගැල්වීම සුදුසු වේ.
  • සමන් දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම මගින් ද සඳුගේ අපලය දුරු කර ගැනීමට හැකි වේ.
  • පස්ගෝ රස දන් දීම හා කිරි මව්වරුන්ට දානය පිළියෙල කර දීම සුදුසු වේ 
  • කුඩා ළමයෙකුට නම් රතන යන්ත්‍රයත් වැඩිහිටියකු නම් අභිසම්පාදන යන්ත්‍රයක් ජීවම් කර පැළඳ වීම සුදුසු වේ.

3.කුජ ග්‍රහයාගේ අපලයට 

  • කුජගේ අපල දුරුවීම සඳහා රත් මල්,කනේරු මල් ආදී රතු පැහැයෙන් යුත් මල් තෙරුවන්ට පූජා කිරීම සුදුසුයි 
  • උදේ සවස මංගල සූත්‍රය සජ්ඣායනා කිරීම .
  • වැඩිහිටියන්ට උපකාර කිරීම 
  • කොලොන් කොළ මිශ්‍ර වතුරෙන් ස්නානය කිරීම 
  • රතු කැකුළු සහල් පිටි හා පිටිවලින් තැනූ කිරි දානයක් දීම 
  • කතරගම දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම 
  • සෙත් කවි කියවා සෙත් පැතීම 

4.බුධ ග්‍රහයා ගේ අපල 

  • නාමල් හා කහ මල් පූජා කිරීම
  • විශ්ණු ආඝෝර යන්ත්‍රය පැළඳ වීම 
  • ධාන්‍ය වර්ග වලින් තැනූ රසකැවිලි දන් දීම  
  • කුඩා ළමයෙක් නම් නවරත්න යන්ත්‍රය පැළඳ වීම 
  • විෂ්ණු දෙවියන් ඇතුළු දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම
  • සෙත් කවි ගායනා කිරීම 

5.ගුරු ග්‍රහයාගේ අපලයට

  • ආඩතෝඩ කොල බෝ කොල  මිශ්‍ර කොළ වතුර ස්නානය .
  • බුදුන් උදෙසා කහ පැහැති මල් පූජා කිරීම 
  • අභිසම්භිදාන යන්ත්‍රය හෝ රතන යන්ත්‍රය ජීවම් කර පැළඳවීම
  • විලඳ මී පැණි හෝ ධාන්‍ය වර්ග වලින් තැනූ රස රසකැවිලි දන් දීම සිදු කිරීම 
  • විෂ්ණු කතරගම දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීම සහ  සෙත් කවි ගායනා කිරීම

6.සිකුරු අපලයට 

  • එලගි තෙල් පහන් ,විසිතුරු පාට මිශ්‍රිත විවිධ වර්ගයේ කොඩි තෙරුවන් ට පූජා කිරීම 
  • මාළුන්ට හා කුරුල්ලන්ට ආහාර ලබාදීම
  • සිල්වත් අයට උපකාර කිරීම
  • කරද කොල මිශ්‍ර කොළ වතුරෙන් ස්නානය 
  • නවනාථ යන්ත්‍රය හෝ රතන යන්ත්‍රය ජීවම් කර පැළඳවීම
  • පත්තිනි දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම 

7.සෙනසුරු අපලයට 

  • නුග කොළ මිශ්‍ර කොළ වතුර ස්නානය 
  • නිල් පැහැති මල් තෙරුවනට පූජා කිරීම
  • විශ්ණු ආඝෝර යන්ත්රය,අභිසම්භිදාන යන්ත්‍රය ජීවම් කර පැළදීම
  • කුඩා ළමුන්ට නම් නවනාථ යන්ත්‍රය පැළඳ වීම
  • ශනි දින උදෑසන කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරි බතක් දීම 
  • කිරි මව්වරුන්ට දන් දීම
  • විෂ්ණු කතරගම දෙවියන් ඇතුළු දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම 
  • සෙත් කවි ගායනා කිරීම 

8.රාහු අපලයට 

  • සර්පයන් මරණයෙන් බේරා ගැනීම 
  • බෝ මලු ඇමදීම 
  • වැටකෙයියා මල් පූජා කිරීම 
  • තල තෙල් එළඟි තෙල් මිශ්‍ර පහන් පූජාව 
  • විවිධ පාට වර්ගයෙන් යුත් කොඩි පූජා කිරීම 
  • ඊතණ හා වැටකේ දළු මිශ්‍ර කොළ ස්නානය කිරීම
  • නාගාර්ජුන යන්ත්‍රක් හෝ අභිසම්පාදන යන්ත්‍රයක් ජීවම් කර පැළඳවීම 

9.කේතු අපලයට 

  • කතරගම දෙවියන් ප්‍රමුඛ දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම
  • මිය ගිය ඇත්තන් ට පින් අනුමෝදන් කිරීම 
  • කෙසෙල් පත්‍රයක මත සිටගෙන ස්නානය කිරීම
  • ඉඳුණු කෙසෙල් සමඟ රසකැවිලි දන් දීම 
  • නවනාථ යන්ත්‍රය හා නවග්‍රහ යන්ත්‍රය හෝ රතන යන්ත්‍රය ජීවම් කර පැලඳීම 
  • මෙම සියලු පූජාවන් සිදු කිරීමට ප්‍රථමබුදුන් වහන්සේ උදෙසා පූජාවන් සිදුකර පින් පින් ලබා ගත යුතු වේ.ඔබ ග්‍රහ අපල විශ්වාස කරන පුද්ගලයකු නම් සුදුසුකම් හා අත්දැකීමෙන්  යුත් ජෝතිෂ්‍යවේදියෙකු ලවා ඔබගේ ජන්ම පත්‍රය පරික්ශා කරගෙන ඉන්පසු ඔහුගේ උපදෙස් පරිදි ඔබගේ අපලයට සුදුසු වත්පිළිවෙත් සිදු කිරීමෙන් යහපත් කාලයක් උදා කරගත හැකි වේ.