සීගිරියට නොදෙවෙණි පිදුරංගල ඉතිහාසය

History

ලෝකයේ අටවෙනි පුදුමය බවට පත්වුණු සීගිරිය ගැන නම් නොදන්න කෙනෙක් නැහැ.දේශීය වගේම විදේශීය සංචාරකයන්ගේ ඇස ගැටෙන ප්‍රධාන ඓතිහාසික ස්ථානයක් සීගිරිය. ඒත් මේ කතා කරන්න යන්නේ නම් සීගිරිය ගැන නෙවෙයි. මෑතක් වනතුරුම මේ සීගිරිය සමීපයේ තියෙන බොහෝ අයගේ ඇස නොගැටුණු ස්ථානයක් ගැන. අහලා ඇති නේද ඔය සීගිරියේ අප්සරාවන් පිදුරංගලට මල් අරගෙන බුදු පුදට ගිය බව.ඒ පිදුරංගල ගැන තමයි මේ විමසා බලන්න යන්නේ.

සීගිරියට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් දකින්න හැකි මේ පිදුරංගල පර්වතය ගැන මෑතකාලීනව බොහෝ සංචාරකයන්ගේ අවධානය යොමුවෙලා තියෙනවා. අක්කර 5 කටත් වඩා වැඩි ප්‍රමාණයක මේ පිදුරංගල පර්වතය විහිදිලා තියෙනවා. මෙහි ඓතිහාසික වගේම පුරාවිද්‍යාත්මක වටිනාකම ඉහළයි.

මේ පිදුරංගල සීගිරියට වඩා මීටරයකින් පමණ උසින් අඩු බවට සැලකෙනවා.වසර දහස් ගණනක ඉතිහාසයක් හිමි පිදුරංගල ක්‍රි .පූ.දෙවන සහ පළමුවන සියවස කාලයේ පටන් පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් විදියටත් පැවති බවට සාධක පවතිනවා.ඒ අනුව මේ පිදුරංගල මහින්දාගමනය සිදු වූ කාලයේ සිටම රහතන් වහන්සේලා වැඩ සිටි පින් බිමක් ලෙස සලකන්න පුළුවන්.මේ පිදුරංගලට නැගුණු විට සීගිරිය, රිටිගල වගේම හාත්පස දර්ශනයන් ඉතාම චමත්කාරජනක විදියට දකින්න පුළුවන්.

කාශ්‍යප රජු  සීගිරිය බලකොටුවක් බවට පත් කර ගන්නටත් පෙර සිටම එහි මහ රහතන් වහන්සේලා වැඩ සිට තිබෙනවා. සීගිරිය ආලකමන්දාවක් කරගත්තට පසුව භික්ෂූන්ට එහි වාසය  කිරීම අපහසු නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන්ට පූජා කරන්න කටයුතු කර තිබෙනවා. ඉතින් මේ කාශ්‍යප රජු විසින් පිදුව ආරණ්‍ය ගල නැත්නම් පිදූ අරං ගල පසුකාලීනව පිදුරංගල වී ඇති බව ජනප්‍රවාදවල සඳහන්.ඒ වගේම පළමුවන මුගලන් රජු කාශ්‍යප රජු හා යුධ වැදීමට පෙර රහතන් වහන්සේලාට වැඩ වාසය කිරිමට විහාරයක් තැනවීමට රන් පිදූ බවත්, ඒ නිසා රනින් පිදූ ගල පිදුරංගල වූ බවට ජනප්‍රවාදයක් ද පවතිනවා.

මහාවංශය ලියූ බවට සැලකෙන මහානාම හිමියන් ද පිදුරංගල කලක් වාසය කළ බව කියවෙනවා.මේ මහානාම හිමියන් කාශ්‍යප රජුගේ පියා වුණු ධාතුසේන රජුගේ මාමා කෙනෙක්.ඒ නිසා කාශ්‍යප රජුගේ අවධානය පිදුරංගලට යොමු වෙන්නට එයත් හේතුවක් වෙන්නට ඇති.සොලී ආක්‍රමණ හමුවේ ධාතුසේන රජතුමත්, කාශ්‍යප හා මුගලන් යන සොහොයුරන් දෙදෙනාගේ ගැටුම්වලදී කාශ්‍යප රජතුමාටත් මේ මහානාම හිමියන් ආරක්ෂාව සැලසූ බව කියවෙනවා.

මේ පිදුරංගල කඳු මුදුනට යන විට එහි දැකගත හැකි සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය කාශ්‍යප රජු සතුරා එන බව කලින් හඳුනා ගන්නට යොදා ගත් බව විශ්වාස කළ හැකියි.ගල මුදුනේ රඳවා තියෙන ඒ ගල පෙරලා දැමීමෙන් සීගිරියේ සිටින රජුට ඒ බව දැනගත හැකිවෙන බවටයි විශ්වාස කරනු ලබන්නේ.ඒ වගේම මේ පිදුරංගල පර්වතය පාමුල ඉදිකර ඇති විහාරය කාශ්‍යප රජුගේ ඉදිකිරීමක් ලෙස සලකනු ලබනවා. 

ශිලා ලේඛනවල සඳහන් වෙන ආකාරයට කාශ්‍යප රජුගේ දියණිවරු සහ රජුගේ නම යොදා ගනිමින් අතීතයේ මේ විහාරය බෝධි උත්පලවන්නා , කාශ්‍යප ගිරි විහාරය,  බෝධි උපුල්වන් කසුප්ගිර වෙහෙර ආදී නම්වලින් හඳුන්වලා තියෙනවා. සීගිරියේ සිතුවම්වල දක්වා තියෙන අප්සරාවෝ මල් අතින් ගෙන පිදුරංගල විහාරය වන්දනයට පැමිණි බව විශ්වාස කළ හැකි වෙනවා.පංචවාස සංකල්පයට අනුව නිර්මාණය කර තිබුණු ඒ විහාරය භික්ෂූන් 500කට අධ්‍යාපනය ලැබිය හැකි පිරිවෙනක් ලෙසට තිබුණු බව කියවේ.

 දැනට මේ පර්වතය පාමුල දාගැබ, බෝධිඝරය,ප්‍රතිමාඝරය, සංඝාරාමය පොහෝ ගෙය යන විහාර සංකීර්ණයේ  නටබුන් පමණක් දකින්නට හැකියාව තියෙනවා. පිදුරංගල පර්වත මුදුනේ ඉදිකර ඇති මීටර් 12.5ක් දිග සැතපෙන පිළිම වහන්සේ  ශෛලමය පිළිම වහන්සේ නමක්. මේ පිළිම වහන්සේ ස්වාභාවික ලෙනක නිර්මාණය කර තිබෙනවා. මේ සැතපෙන පිළිමයේ හිස සීගිරි පර්වතයේ රජ මාළිගයට පිවිසෙන ස්ථානයට සහ සිංහ පාදය අසල ද්වාරයට පෙනෙන සේ නිර්මාණය කර තිබෙනවා.

එසේ නිර්මාණය කර ඇත්තේ කාශ්‍යප රජුට දිනපතා පිළිම වහන්සේ වන්දනා කිරීමට බවයි සඳහන් වෙන්නේ.කාශ්‍යප රජු එකල පියා ඝාතනය කොට පැමිණ සැඟවී සිටි නිසා බුදුන් වන්දන කිරීමට නිතර යාම් ඊම් අපහසු බැවින් එය සත්‍ය බව සිතිය හැකියි.මේ කාශ්‍යප රජතුමා පියා ඝාතනය කරපු පුද්ගලයෙක් නේ.ඔහු පසුකාලීනව ඒ ගැන වඩාත් ශෝකයට පත්ව සිටි බවත් නිතරම පිදුරංගල විහාරය වන්දනා කළ බවත් කියවෙනවා.

කොහොමවුණත් මේ පිදුරංගල ගල් තලාව මඳක් ආනතියෙන් යුක්තව විශාල ආකාරයෙන් පැතිර පවතින නිසා  විවිධ මතවාද ඒ ඇසුරින් අපිට අහන්නට ලැබෙනවා. මේ කාශ්‍යප රජුට පෙර සීගිරියේ උරුමකරු විදියට සැලකෙන රාවණා රජු තම දඬු මොනරයෙන් ගමන් බිමන් යන්නට මේ පිදුරංගල ගල් තලාව භාවිතයට ගත් බව ජනප්‍රවාදයේ කියවෙනවා. ගල් තලාවේ සුවිශේෂී පිහිටීම ඒ සඳහා උපකාරී වන්නට ඇතැයි අපට අනුමාන කළ හැකියි .

මෙහි දාගැබක නටබුන් දැකිය හැකි අතර ඒ දාගැබ වසර 1500ක පමණ දීර්ඝ ඉතිහාසයක් සහිත බවට සලකනු ලබනවා. එය කාශ්‍යප රජු ආදාහනය කරන ලද ස්ථානයේ මුගලන් රජු විසින් කාශ්‍යප රජුගේ සේවයට ගරු කිරීමක් විදියට සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කළ බවට සලකනු ලබනවා. ඒත් මෙය කාශ්‍යප රජුගේ සොහොන ලෙස ප්‍රකාශ කිරීම ප්‍රඥා ගෝචර නොවන බවයි බොහෝ අය පවසන්නේ.

මේ පිදුරංගල අතිවිශාල පිපිරීමකින් නිර්මාණය වුණු බවට ඇතැම් අය නිගමනය කරනවා. එහි වටා විසිර ඇති පර්වත කැබලිවල බිඳීයාම් ඒ බව තහවුරු කරන බව ඔවුන් පවසා සිටිනවා. කොහොමවුණත් මේ පිදුරංගල පර්වතය පුනීලයක හැඩය ගන්නා බවත්, වැසි ජලය ගලායාමට පහසු වන සේ පර්වතයේ ඇළ මාර්ග කණින ලද බවත් මේ වන විට බොහෝ අය පෙන්වා දී තියෙනවා. මේවා සීගිරි පර්වතයේ වැසි ජලය පහළට ගලා යාමට නිර්මාණය කරන දිය මංවලට සමාන බවයි විද්වත් මතය. මේ කරුණු සැලකිල්ලට ගනිමින් බොහෝ අය නිගමනය කරන්නේ මේ පිදුරංගල පර්වතය වැසි ජලය එක්රැස් කිරීම සඳහා යොදාගත් බවයි.රාවණ පරපුර හා බැදුණු සීගිරිය ආශ්‍රිත පිදුරංගල පර්වතයත් නිමකළ නොහැකි ඓතිහාසික හා පුරවිද්‍යා  වටිනාකමකින් යුක්ත බව සියලු දෙනාම මතක තබා ගත යුතුයි.