රාමා ලංකාවට එන්න මිට වසර 7000ට පෙර හැඳු ආදම්ගේ පාලමේ ඇත්ත හෙළිවෙයි

History

ආදම්ගේ පාලම ගැන බොහෝ අය අහලා ඇති නේ.රාමසේතු පාලම කියලත් මේ ආදම්ගේ පාලම හඳුන්වනවා.  ලංකාව සහ ඉන්දියාව අතර පිහිටා තියෙන මේ ආදම්ගේ පාලම මේ වන විට මිත්‍යාවක් නොවන බවට පිළිගෙන තියෙනවා.ලෝකයේ මිනිසුන් ඉදිකරපු පැරණිතම පාලම විදියටත් සලකන මේ පාලම මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කරලත් තියෙනවා.ඒත් ඉතින් මේ ආදම්ගේ පාලමේ නිර්මාණය ගැන නම් තවමත් නිශ්චිත නිගමනයක් නැහැ.ඒත් මේ පාලමට ලක්දිව පාලනය කරපු රාවණාගේ හා රාමගේ සම්බන්ධයක් ගැන නම් හෙළිවෙනවා ඒ නිසා ආදම්ගේ පාලම, රාමාගේ පාලම, රාවණාගේ පාලම,හනුමාගේ පාලම, රාමසේතු පාලම යන විවිධ නම්වලින්  මෙය හඳුන්වනවා.

මේ පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිණිකොණ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි පාම්බන් දූපතේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දක්වා විහිදී තිබෙන නොගැඹුරු වැලිපර දූපත් සහිත මුහුදු තීරයක්.එය හුණුගල් මිශ්‍රිත පාෂාණ දාමයකින් සැකසී ඇති බවයි පැවසෙන්නේ.මේ ආදම්ගේ පාලම ප්‍රධාන වැලිපර දූපත් දහසයකින් සමන්විත වෙනවා .

ඉන්දියානුවන් අදටත් මේ වැලිවැටිය රාමසේතු නැත්නම් රාමාගේ පාලම විදියට හැඳින්වුවාට ලංකාවේ නම් ආදම්ගේ පාලම කියලා තමයි භාවිතා කරන්නේ. ආදම්ගේ පාලම විදියට මේ වැලි වැටිය හැඳින්වීම ගැන නිශ්චිත කරුණු නැතත් ඉබන් බතුතා වගේ දේශාටකයන් එය මේ නමින් හඳුන්වන්නට ඇති බවට නම් විශ්වාසයක් තියෙනවා.

කිලෝමීටර් 30ක් පුරා විහිදිලා තියෙන මේ පාලමේ වැලි සහ ගල් පරීක්ෂා කරපු ආචාර්ය ඇලන් ලෙස්ටර් සහ එරින් ඇග්‍රිලන් යන භූ විද්‍යාඥයන්ගේ අදහස නම් මෙය සැබෑ ලෙසම මිනිසුන් අතින් නිර්මාණය වූ එකක් බවයි.පර්යේෂකයන්ට අනුව නම් මේ පාලම මීට වසර 7000කට ඉහත දී ඉදිවුණු එකක් බවට සලකනු ලබනවා.  නාසා ආයතනයේ කෘතීම චන්ද්‍රිකා ඡායාරූප මඟින් දැනට තහවුරු වෙලා තියෙන්නේ අතීතයේ ඉදි කරපු ඒ පාලම පසු කාලයේ දී සාගරයේ දියවැල්වලින් ඇති වූ බලපෑම්වලින් විනාශයට පත්වන්නට ඇති බවයි. ඒත් මේ පාලම මිනිසුන්ගේ නිර්මාණයක් නොවන බව ඇතැමුන් පිළිගනු ලබනවා.

චන්ද්‍රිකාවලින් ගත් ඡායාරූපවලට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නොගැඹුරුමුහුදේ දම්වැලක් සේ පෙනෙන පාෂාණ පන්තියක් ලෙස මෙය දැක ගැනීමට හැකිවෙනවා.ඇමරිකානු පුරාවිද්‍යාඥ  චෙල්සියාට අනුව මෙහි වැලිපර මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරණි කාලයකට අයත් බව කියනවා.ඒ අනුව මේ පාෂාණ වසර 7000ක් පමණ පැරණි බව ඔවුන්ගේ විශ්වාසය වෙනවා.ඒත් මෙවැනි විශාල පාෂාණ මේ ස්ථානයට රැගෙන ඒම නම් තවමත් ගැටළුවක්.

මේ ආදම්ගේ පාලම වාල්මිකීගේ රාමායනයට අනුව නම් රාමාගේ වානර හමුදාවේ නිර්මාණයක්. ශ්‍රී ලංකාවේ රාවණා රජු සීතා දේවිය සමඟ ලංකාවට පැමිණීමෙන් පසු ඇයව රැගෙන එන්නට ලක්දිවට යාමට රාමාට සිදුවුණා. ඒ පුරාවෘත්තයට අනුව සීතා රාමාගේ බිරිඳ වුවත් බොහෝ අය පවසන විදියට නම් සීතා දේවිය රාවණාගේ දියණියයි.

කොහොමවුණත් සීතා ලංකාවට ගෙන ආපු නිසා රාමාට ලක්දිවට යාම සඳහා තමයි ඔවුන් මෙය නිර්මාණය කළා කියලා සඳහන් වෙන්නේ.රාවණ සමඟ යුද්ධයට අවශ්‍ය රාමාගේ සේනාවට ලක්දිවට ඇතුළු වෙන්නට හනුමා ඔහුගේ වානර සේනාව යොදාගෙන පාවෙන ගල් භාවිතයෙන් නිර්මාණය කරන බව පැවසෙනවා.මේ වානර අධිපතියෙකුගේ අධීක්ෂණය යටතේ වානර හමුදාව දින පහකින් මේ පාලම ඉදිකළ බව සඳහන්.

මේ පුරාවෘත්තයේ කියවෙන පාවෙන ගල්වලින් නිර්මාණය කළ බව සැලකිල්ලට ගත්තම ඇත්තටම ඒවා ගල් නොව කොරල් පර කොටස් විදියටයි හඳුනාගෙන තියෙන්නේ .කොරල්පරවල ඇති විශාල සිදුරු නිසා ඝනත්වය අඩුවීමෙන්  ඒවා වතුරේ පාවෙන්නට ඇති බව විශ්වාස කරනවා. ඒ නිසා ආදම්ගේ පාලම සම්පූර්ණයෙන්ම මේවගෙන් නිමවුණා කියලා හිතන්න අමාරුයි.මොකද එහි වැඩි කොටසක් වැලිපර නිසා . සාගර භූ විද්‍යාවට අනුව ඔය යාපන අර්ධද්වීපයේ තියෙන කලපු වගේ ස්වාභාවිකව මේ පිහිටීම නිර්මාණය වුණු බව සිතන්නත්  පුළුවන්.

රාමා විසින් ඉදිකළ බව කියන රාමසේතු පාලම කිසිවෙකුගේ නිර්මාණයක් නොව ස්වාභාවිකව ඇති වූ බවට මත ද පවතිනවා. ඒ හුණුගල් දියවැල් සමඟ ගසාගෙන ඒමෙන්.අනික මීට අවුරුදු 4000කට විතර කලින් මේ දැන් තියෙන මට්ටමට වඩා මුහුදු මට්ටම මීටර් කිහිපයක් පහළින් තියෙන්න ඇති. මොකද අධික උෂණත්වයත් ග්ලැසියර් දියවීමත් ආදිය නිසා දැන් මුහුදු මට්ටම වැඩිවෙලා ගොඩබිම ප්‍රමාණයෙන් අඩුවෙමින් යනවා.එහෙම බැලුවමත් මේ පාලම ස්වාභාවිකව හැදුණු එකක් විදියට හිතන්න තියෙන ඉඩකඩ වැඩියි. 

සමහර තැන්වල මේ රාමායනයේ කියන විදියට ඒවා එකිනෙක යා කරන්න නම් ඇති.මොකද ඔය කියන විදියට මේ පාලම හදන්න නම් හෙළ තාක්ෂණයට අනුව වසර සීයයක්වත් ගතවෙනව.ඒත් රාමයනයේ කියන විදියට දවස් 5කින් මෙය ඉදිකළා යැයි සිතීම  මුලාවක්.ඒත් ඒ තිබුණු ස්වාභාවික පිහිටීමට අනුව සමහර තැන් සම්බන්ධ කරමින් පාලම නිර්මාණය කළා කියල හිතන්න තියෙන සාධක වැඩියි. 

ඒ හැරුණම තවත් එක් මතයකට අනුව ඉන්දියාව සහ ලංකාව අයිස් යුගයේ දී එකට සම්බන්ධ වී තිබුණු බවත්, මීට වසර 125000කට පමණ පෙර එය වෙන්වී ඇති බවත්, එසේ වෙන්වීමේ දී ශේෂ වූ කොටස් මේ පාලමක් ලෙස දිස්වන බවත් පැවසේ . ඒ අනුව මිනිසුන් විසින් පාලමක් ගොඩනැගූ බව විශ්වාස කිරීම මුලාවක් ලෙසටයි ඇතැමුන් පිළිගන්නේ.ඒත් රාමායනයේ රාමසේතු පාලම ලෙස නම්කර තිබෙන්නේ නම් එය රාමාගේ නිර්මාණයක් බවට සලකමින්.

ඉන්දියාවේ තන්ජ්වූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි .ව. 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමක මේ ප්‍රදේශය රාමන් කොයිල් ලෙසත්,මාර්කෝ පෝලෝ සිතියම්වල සේතු බන්ධ සහ සේතු බන්ධ රාමේස්වරම් ලෙසත් දක්වා තිබෙනවා.මේ සේතු බන්ධනම් යන්නේ අර්ථය පාලමක් සහිත මුහුදු ප්‍රදේශය යි.ඒ වගේම 1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම විදියට.කොහොම වුණත් අතීතයේ සිටම මේ පාලම සැම දෙනාගේම අවධාන්යට ලක් වුණු බව නම් සැබෑවක්.

ඓතිහාසික වශයෙන් මෙහි වැදගත්කම අබිභවා ගියපු තවත් පාරිසරික වටිනාකම් රැසක් මේ ඇසුරින් දකින්නට පුළුවන් බව මේ වෙද්දී අනාවරණය කරගෙන තියෙනවා.ඉහතින් සඳහන් කරපු විදියට ආදම්ගේ පාලම සමන්විත දූපත් 16න් ශ්‍රී ලංකාවට එයින් 8ක්ම පවරා දී තිබෙනවා. මේ දූපත් සමූහය වගේම ඒ ආශ්‍රිත නොගැඹුරු මුහුදු තෘණ සහිත හෙක්ටයාර් 18990 ක් වන කලාපය  2015 ජුනි 22 සිට ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය ලෙස නම් කර ආරක්ෂා කරනු ලබනවා.

මෙය වනජීවී සංරක්ෂිත දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින අතර දැනට ලංකාවේ ඇති ප්‍රථම සහ එකම සමුද්‍රීය ජාතික උද්‍යානය යි. ඉන්දියාවේ වගේම ලංකාවේත් දේශාන්තරික ජාතික උද්‍යානයක් ලෙස මේ වැලිපර දූපත් සමූහය හඳුන්වනු ලබනවා.

මේ ආදම්ගේ පාලම ආශ්‍රිත පරිසර කලාපයේ ජෛව විවිධත්වය සලකා බැලුවොත් මෙය පක්ෂීන් විශේෂ ගණනාවක් සඳහා අභිජනන මධ්‍යස්ථනයක් ලෙසත්, කරදියවාසී කැස්බෑවුන් විශේෂයන්ට හා Common guarden lizard නම් කටුසු විශේෂය සඳහා වාසස්ථානයක් ලෙසත් වැදගත් වෙනවා.

වැලිපර ආශ්‍රිතව අපෘෂ්ඨවංශී ජීවී විවිධත්වයන් දැකි හැකි වන අතර සමනලුන් විශේෂ වගේම බත්කූරන් විශේෂ හතක් දකින්න පුළුවන් වෙනවා.ඒවගේ සත්ත්ව විශේෂ  හැරුණම  තෘණ විශේෂ ,බිම් තඹුරු ,මහා රාවණා රැවුල,හීන් තක්කඩ යන ශාක වර්ගත් දකින්න පුළුවන්.

ඒ විතරක් නොවෙයි මේ වැලිපර දූපත් සමූහය මුහුදු රළෙහි වේගය අඩු කිරීමට ස්වාභාවික බාධකයක් ලෙසට ක්‍රියා කරනු ලබනවා.යම්කිසි ආකාරයකින්  මේ භූගෝලීය පරිසරයට හෝ ජෛව විවිධත්වයට හානි වුණොත් එය ලංකාවට පමණක් නොවෙයි ගෝලීය වශයෙන් දැඩි තර්ජනයකට මුහුණදීමට සිදු වෙනවා. මෙහි නිර්මාණය කොහොම වුණත් කාගේ වුණත් එය රැක ගැනීම ගෝලීය වශයෙන් ඉතා වැදගත් වෙනවා.