මහනුවර ක්වීන්ස් හෝටලය මුදලට ගත්ත යටියන මහතාට වාසනාව ගෙනා සිසිරගිරි වලව්ව

History

මේ යටියන වලව්ව නැතහොත් සිසිරගිරි වලව්ව පිහිටි ගම්මානය තවමත් නොදියුණු වුවත් මෙම යටියන වලව්ව දෙස් විදෙස්වල පවා බෙහෙවින් පතළ ය .ඒ එංගලන්තයේ සුද්දන් හා තරග කර ශ්‍රී  ලංකාවේ සුදු වතු අධිරාජ්‍ය  බිඳ හෙලූ සුදු වේට්ටියත්, කෝට් එකත් හැඳි යටියන මහත්මයා නමින් ප්‍රසිද්ධ මහා කළු සිංහලයා නිසා ය. මාතර දිස්ත්‍රික්කයේ යටියන නම් ග්‍රාමයේ පිහිටි යටියන සිසිරගිරි වලව්ව වසර තිහකින් පමණ මිනිස් වාසයෙන් තොරව පවතින අතර මෙම වලව්ව හා බැඳුණු රසවත් කතා බොහෝමයක් එහි වාසය කරන ගම්මුන් ඇසුරෙන් අසා දැනගත හැකිය.

මෙම යටියන මහතා පෙර වාසය කරන ලද්දේ මෙම වලව්ව තිබෙන ඉඩමේ ඉහළම කඳුගැටය මත වූ කුඩා නිවසකයි .යටියන පවුල තමාට අවැසි  ජලය ලබා ගන්නේ යටියන කැකණදුර පාර සමීපයේ පිහිටි ළිඳකින් වූ අතර එක් දිනක යටියන මහතාගේ බිරිඳ වූ කඹුරුපිටිය හාමිනේ වතුර කළයක් රැගෙන එන විට සිදුව ඇත්තේ විස්මිත සිදුවීමකි. වතුර කළය උකුලෙ තබාගෙන කඳු ගැටයේ අඩක් පමණ ඉහළට නගින විට ඇය හැඳ සිටි චීත්ත රෙද්ද බුරුල් වූ බැවින් රෙද්ද තද කොට ඇඳ ගැනීමට ඇය කළය බිමින් තබන ලදී. එහිදී එම කළයෙන් බුබුළු දමනු දැක ඇය විමතියට හා භීතියට පත්ව තම ස්වාමිපුරුෂයාට කතා කොට මේ සිදුවීම පෙන්වා ඇත. එය දුටු යටියන මහතාට ද ඇස් අදහා ගත නොහැකි ව ඔවුන් නිවසින් සුදු රෙද්දක් ගෙන කළය නොපෙනෙන සේ ලී කෝටු හතරක් සිටුවා බුබුළු දමමින් උතුරන වතුර කළය වසා නිමිතිකරුවකු හමුව සිදුවීම පැහැදිලි කරන ලදී. එම නිමිතිකරුගේ උපදෙස් පරිදි යටියන මහතා කළය උතුරා ගිය ස්ථානය මැදිවන සේ නිවසක් තනා පදිංචි වී ඇත. ඒ අනුව මෙම ජනප්‍රවාදයේ සඳහන් ආකාරයට ඉදි කළ නිවස සිසිරගිරි වලව්වයි. 

යටියන මහතාගේ මෙම සිසිරගිරි වලව්ව ඔහුට ධන වාසනාව ගෙන ආ භූමියක් බවත්, මෙම භූමියේ පැවති වාසනා බල මහිමය යටියන මහතා ධනවතෙක් බවට පත් කළ බවත්, බොහෝ අයගේ මතයයි. ඒ හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් මේ හා බැඳී පවතී. එනම් මහනුවර ක්වීන්ස් හෝටලය ඔහු මිලදී ගත් රසවත් කතා පුවතයි.යටියන මහතා සුපුරුදු කබායත් හැඳ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ක්වීන්ස් හෝටලය සඳහා ලංසු තබන අයුරු බලා සිට ඊට වඩා වැඩි ලංසුවකට හෝටලය ඉල්වූ අතර එයට උපහාසයෙන් සිනාසෙමින් බ්‍රිතාන්‍ය ජාතිකයා “මේ රෙදි කෝට්කාරයාට ක්වීන්ස් හෝටලය මිලට ගත හැකි ද ” යන්න අසන ලදී. වෙන්දේසියේ වැඩිම මිල ගෙවා හෝටලය ගත් යටියන මහතා බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් විමසා ඇත්තේ “උඹට සල්ලි ඕන මොන රටේ බැංකුවකින් ද ” යන්නයි.

ඒ වන විට එංගලන්තය ආදී විවිධ රටවල බැංකුවල සල්ලි තැන්පත් කර තිබූ යටියන මහතාගේ තත්ත්වය ඉදිරියේ එම බ්‍රිතාන්‍ය ජාතිකයා ඉමහත් ලැජ්ජාවට පත් වූ බවයි කියවෙන්නේ. ඒ අනුව යටියන වලව්වේ භූමි වාසනාව නිසා ඔහු ඉතා ධනවත් වූ බව බොහෝ අයගේ මතය වේ. වරක් ලංකාවට ගෙන්වන ලද නවීන වර්ගයේ ජගුවර් රථ තුනම මිලදී ගත් යටියන මහතා ආර්ථික අතින් ඉතා ඉහළින් වැජඹුණු බව පිළිගැනීමට අපට සිදු වේ. එසේම මාතර,හැටන් ,නුවරඑළිය ආදී බොහෝ ප්‍රදේශවල තේ, රබර් වගා අක්කර දස දහසකට වඩා පැවති බවට පවතින මත ද මේ කරුණු අනුව සත්‍ය  බව පෙනේ.

යටියන මහතාගේත්, එම හාමිනේගේත්, ඔවුන් දෙදෙනාගේ පුතු වූ ඩොනල් රණවීරගේත් නිවහන වූ මෙම වලව්ව තට්ටු දෙකකින් සමන්විත වේ. යටියන මහතාගේ පුතු වූ ඩොනල් රණවීර නුවරඑළිය මස්කෙළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, ටයිම්ස් පුවත්පත් ආයතනයේ සභාපති ලෙසත් සේවය කරන ලද අතර මෙම එකම පුතුගේත්, යටියන මහතාගේත්, හාමිනේගේත් සොහොන් කොත් මෙම වලව්ව ඉදිරියේ සාදා තිබෙනු දක්නට ඇත. 

වසර ගණනාවක් පැරණි එම වලව්ව ඉතා අලංකාරවත් ව නිර්මාණය කොට තිබෙන අතර එය මේ වන විට මිනිස් වාසයෙන් තොර නිසා එහි කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුව නැත. යටියන මහතාගේ මුණුබුරන් දෙදෙනාත් ඇමරිකාවේ දී අකාලයේ මිය ගොස් ඇති නිසා මෙම වටිනා උරුමයන් සංරක්ෂණයකින් තොරව ම විනාශවෙමින් පවතී.

මෙම වලව්ව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන විට  මෙම වලව්වේ ගෙබිම විශේෂ වේ.මෙහි ගෙබිම  නිර්මාණය කොට ඇත්තේ සිමෙන්ති හෝ ගල්වලින් නොව කුඹුක් ලීවලින්  වීම එයට හේතුවයි. ප්‍රමාණයෙන් ඉතා  විශාල වූ මේ වලව්වේ ගෙබිම සැකසීමට විශාල කුඹුක් ලී ප්‍රමාණයක් අවශ්‍ය වන්නට ඇති  අතර ඒ අනුව යටියන මහතාගේ වත් පොහොසත්භාවය සුළුපටු නොවන බව පෙනේ. මෙම වලව්ව සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද පවතින අතර එහි සඳහන් වන්නේ මෙම වලව්වේ ඉහළ මාලයේ හොල්මන් සිටින බවයි.

ගම්මුන් පවසන ආකාරයට එහි ඉහළ මාලයේ වලව්වේ හාමු මහතා ගල් පෙරේතයෙක් ව සිටී. එම මාලයේ තිබෙන ගලට කුමකින් හෝ  තට්ටු කළ විට රුධිරය ගලන බවයි ජන මතය. කෙසේ වෙතත් කඹුරුපිටිය හාමිනේ වතුර කළය බිම තැබූ විට බුබුළු දමමින් උතුරපු ස්ථානයේ ඇති වලව් කාමරය අද වනතුරු වසා දමා තිබේ. නමුත් මෙවැනි හොල්මන් සිදුවීම්  මේ වනතුරු දැක ඇති අයෙක් නම් නොවන අතර මෙහි දීර්ඝ කාලයකින් කිසිවෙක් වාසය නොකරන ලද බැවින් එහි පවතින ගුප්තභාවය මෙවැනි මතවලට හේතුවී ඇති බව සිතිය හැකිය.

මෙම වලව්වේ පැවති වටිනා භාණ්ඩ අතර මැණික් සහිත යකඩ සේප්පු තිබී ඇත. නමුත් ඒවා සොරුන් හෝ විවිධ  පුද්ගලයන් විසින් මැණික් ලබා ගැනීමට සේප්පුවලට කුළු ගෙඩිවලින් පහරදී ඇතත් එම සේප්පු විවෘත කළ නොහැකි වී ඇත. අද වන විට එවැනි පුරාණ භාණ්ඩ මේ තුළ දක්නට නොහැකි වන්නේ 1989 භීෂණ යුගයේ දී ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් මෙම සුවිසල් වලව්වට ගිනි තැබූ නිසාවෙන් යැයි සිතිය හැක. එපමණක් නොව මෙහි පැවති පැරණි වටිනා භාණ්ඩත් ඔවුන් විසින් සොරා ගන්නට ඇති බවයි ගැමියන්ගේ මතය වන්නේ.ගම්මුන්ට අනුව මෙතරම් පැරණි අලංකාර වලව්ව එසේ ගිනි බත් කරන ලද්දේ හමුදා ආදී ආරක්ෂක අංශ මෙහි ලැගුම් ගැනීම වැළැක්වීම සඳහා ය.

මෙම වලව්වට ගිනි තැබූ විට මහා වැස්සක් ඇද වැටී ගින්න නිවී ගිය බව ද මෙම ජනප්‍රවාද අතර පවතී. නමුත් එම ගින්නෙන් වලව්වේ බොහෝ ප්‍රමණයක් විනාශ වී යන්නට ඇති අතර එය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් ඉඩ නොදුන් බවටයි තොරතුරු ලැබෙණු යේ.අද වනවිට එහි ඉහළ මාලයට යාමට පවතින්නට ඇති තරප්පු පෙළ හෝ කිසිවක් දක්නට නොමැතිව ඇත්තේ මෙම ගිනි තැබීම් විය හැකියි.කෙසේ වුවත් අනාගතයට රැක ගත යුතුව වූ පැරණි වලව්වක් මෙසේ දේශපාලන ගැටුම් හමුවේ විනාශයට පත්ව තිබීම කණගාටුවට කරුණකි.

මෙම වලව් වත්ත වටේ ම වසර සියයකට වඩා පැරණි අරලිය මල් ගස්වලින් අලංකාර වී ඇති අතර වලව්ව වටා ප්‍රතාපවත් තාප්පයක් දැකිය හැකි වේ. අද වනවිට වවුලුන්ට වාසස්ථානයක් වූ මෙහි දිවා කාලයේ දී  එක් මුරකරුවෙකු පමණක් සිටී.  මෙම වලව්වේ සිවු දෙසම ඉදිරිපස ලෙස අලංකාරව ඉදිකර තිබෙන අතර මෙහි වත්තේ ඉතා වටිනා පාෂාණ වර්ගයකින් නිර්මිත මූර්තියක් ද වේ. එය දුටුවනම ග්‍රීක් සම්ප්‍රදායට සමීප බවක් දිස්වන අතර එකල යටියන මහතා විශාල ධනවතෙකුව සිටි බැවින් දුර්ලභ පාෂාණයකින් මෙවැනි නිර්මාණයක් කරවන්නට ඇති බව සිතිය හැකි ය. මෙම මූර්තිය හැරුණු විට තවත් මූර්ති මෙම වලව් භූමියේ පවතින්නට ඇතැයි සිතිය හැකි නමුත් වලව්වට සිදු වූ හානි සමඟ ඒවා විනාශ වී යන්නට ඇත.

සුද්දාට පවා අභියෝග කර ක්වීන්ස් හෝටලය වැඩි මුදලට ගත්, එකල මිලෙන් ඉතා අධික ජගුවර් රථ තුනක හිමිකරු වූ යටියන මහතාට වාසනාව ගෙන ආ වාසනාවන්ත භූමිය අද හුදකලාවට ගොස් තිබීම ඉතාම කණගාටුදායකයි. කිසිදු නඩත්තුවකින් තොරව පවතින මේ වලව්ව තව වසර ගණනාවකින් එහි පැවති රසබර කතා එක්කම වැළලී යාවි. නමුත් මෙවැනි පැරණි සම්පත් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීම මතු පරපුර වෙනුවෙන් කළ යුතු  මහඟු මෙහෙවරකි.