මණිකාර කුළුපග තිස්ස තෙරුන්ට විපාක දුන් අතීත කර්මය

stories

ඉතාම ධාර්මික, ගුණවත් රහතන් වහන්සේ නමක් අභූත වරදකට හසුවෙලා තමන්ගේ ළඟම දායකයාගෙන් බලවත් හිංසාවකට ලක්වුණා. සසරේ හැටි එසේය. සසරේ ඇති භයානක බව ගැන කියවෙන ඒ කතාව අපි බලමු.

  • සැවැත් නුවර වනගත ප්‍රදේශයක එක්තරා රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ පිඬුසිඟා වඩිමිනුයි ජීවත් වුණේ.
  • මෙහෙම කාලය ගතවන විට උන්වහන්සේ කෙරෙහි මැණික් ඔපදමන්නෙක් පැහැදුණා. ඔහුගේ බිරිඳත් පැහැදුණා. හැබැයි මේ දෙන්නා දැනසිටියේ නෑ මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඔවුන් තමන්ගේ දරුවෙකුට වගෙයි මුන්වහන්සේට සැළකුවේ. තමන්ගේ නිවසේම දිනපතා දානය පිළියෙල කරලා පිළිගැන්නුවා. තමන්ට දරුවෙකුට සේ සළකන නිසා මේ ස්වාමීන් වහන්සේත් ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ගේ සත්කාර ඉවසුවා.
  • මෙහෙම අවුරුදු දොළහක් ගෙවිලා ගියා. මේ මැණික්කරුවාගේ නිවසින්ම දන් වළඳන නිසා මේ ස්වාමීන් වහන්සේට නම වැටුණේ ‘මණිකාරකුළුපග තිස්ස’ කියලයි.
  • හැමදාම වගේ දවසක් මේ හාමුදුරුවෝ දානය පිණිස මොහුගේ නිවසට වැඩියා. ඉස්තෝප්පුවෙ ආසනයක් පිළියෙල කළ බිරිඳ එහි වැඩහිඳින ලෙස ඇරයුම් කළා. ඒ මොහොතේ කොසොල් රජ්ජුරුවන්ගේ රාජපුරුෂයෙක් මැණික්කරු සොයාගෙන පැමිණියා.
  • හදිසි අවශ්‍යතාවයකට රජ්ජුරුවන්ට මැණික කපා ඔපදමා එවන්න කියාලා මැණිකක් මැණික්කරු අතට දී එම රාජපුරුෂයා පිටත්ව ගියා. ඒ මොහොතේදී මොහු සිටියේ ඔහුට ලැබුණු මස් වර්ගයක් කපමින්. ලේ වැකුණු අතින්ම ඒ මැණික පිළිගත් ඔහු එය පෙට්ටියක් උඩ තිබ්බා. අත සෝදා ගැනීමට ගෙය ඇතුළට ගියා.
  • ඒ අතර මේ ගෙදර ඇති දැඩිවන කොස්වාලිහිණියෙක් වටපිට ගැවසෙමින් හිටියා. ඌ මස් කැබැල්ලක් කියලා සිතා ඒ මැණික ගිලදැම්මා. දානය පිණිස වැඩම කර සිටිය මණිකාරකුළුපග තිස්ස ස්වාමීන් වහන්සේ ඉදිරියේ තමයි මේ සියල්ල සිදුවුණේ.
  • මැණික්කරුවා ඉස්තෝප්පුවට පැමිණ හැමතැනම මැණික සොයන්න පටන්ගත්තා. මැණිකට වෙච්චි දෙයක් නෑ. ළමයින්ගෙනුත් ඇහුවා. කවුරුවත් අරගෙනත් නෑ. තෙරුන් වහන්සේ දිහා බැලුවා. උන්වහන්සේ බිම බලාගෙන ඉන්නවා.
  • මැණික්කරු ගේ ඇතුළට ගියා. බිරිඳට කතා කළා. “ හාමිනේ මට මේ තෙරුන් සැකයි. මැණික ගන්න ඇත්තේ මුන්වහන්සේ තමයි. මෙහෙට වෙන කවුරුවත් ආවෙ නැහැනේ. පිටස්තර කෙනෙකුට මේක ගන්න වෙලාවක් නෑ.”
  • “ අනේ ස්වාමීනී, මොනවද ඔයා මේ කියන්නේ? අපේ දරුවෙක් වගේ දොළොස් අවුරුද්දක් තිස්සේ දන් වළඳන මුන්වහන්සේ කාටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. මෙහෙම කෙනෙක් අපේ මැණික ගනීවිද? අනික උන්වහන්සේට මොනවටද?”
  • හොඳයි! මං අද බලගන්නම්. කොහොමහරි මට මේකේ ඇත්ත නැත්ත හොයාගන්න ඕන කීව මැණික්කරු “ ස්වාමීනී, ඇත්ත කියන්න. මෙතන මං මැණික තිබ්බා. මේන්න මෙතන. මේ පෙට්ටිය උඩ. මං දැන් අහන්නෙ මේකයි. කවුද මේ මැණික ගත්තේ, තමුන්නාන්සේ නේද?”
  • පින්වත් උපාසකය, මම නම් ඔය මැණික ගත්තෙ නෑ. හාමුදුරුවෝ පැවසුවා.
  • එතකොට වෙන කවුද මෙතනට එන්නේ? මැණික්කරු කීවා
  • දැන් ඔහුගේ බිරිඳත් හොඳටම භය වෙලා. මොහුගේ ස්වරය එන්න එන්නම දැඩිවෙනවා.
  • “ හාමිනේ, මට නම් දෙකක් නෑ මෙයාමයි ගත්තේ. මං දැන් හොයාගන්නම්, මැණික්කරු කීවා.
  • “ අනේ මනුස්සයෝ. මොනවද ඔයා මේ කියන්නේ, අපිව වැනසිලා යාවි! මීට වඩා හොඳයි රජ්ජුරුවන්ට දාසයො වෙන එක. උන්වහන්සේ එහෙම කරන්නෙ නෑ!” බිරිඳ දිගින් දිගටම කීවා.
  • “ නෑ…! උඹ හිතන්නේ අපට දාසයො වෙලා මැණිකෙ ගාස්තුව ගෙවන්න පුළුවන් වෙයි කියලද? හොඳයි…! ස්වාමීනී, අවසාන වතාවටයි මේ කියන්නේ. සෙල්ලම් බෑ ඔන්න. මට දැන් මැණික ඕන.”
  • මැණික්කරු ලණුවක් රැගෙන ආවා. වාඩි වී සිටි තෙරුන්ගේ හිස කිටි කිටියේ වෙළුවා. තෙරුන් වහන්සේගේ නාසයෙන් ලේ ගැළුවා. ඇස් එළියට ඇදුණා. වාඩිවී සිටි අසුනෙන් බිමට ඇදගෙන වැටුණා. නාසයෙන් වැටුණු ලේ කැටිය දුටු කොස්වාලිහිණියා එතනට පාත් වුණා. ඒ ලේ කැටියත් ගිලින්න සූදානම් වුණා. කෝපයෙන් සිටි මැණික්කරු ‘තෝ මොකද මෙතන කරන්නේ?’ කියලා පාදයෙන් තද පහරක් එල්ල කළා. ඒ එක පහරින්ම ලිහිණියා මැරී වැටුණා.
  • මෙය දුටුව තෙරුන් වහන්සේ “උපාසකය, අනේ මගේ හිස පොඞ්ඩක් බුරුල් කරන්න. කොස්වා ලිහිණියා ගැන බලන්න. ඌ මළාවත්ද?”
  • “ කොස්වා ලිහිණියාගේ වගක් නුඹට මොකටද? දැන් නුඹේ වැඩක් බලාගන්නයි තියෙන්නේ. මේකාට වෙච්චි දේ තමයි දැන් නුඹට වෙන්නෙත්”
  • කුරුල්ලා මැරුණු බව දැනගත් තෙරුන් වහන්සේ ඔහුට පවසා සිටියා.
  • “ උපාසකය, මේ කුරුල්ලා තමයි මැණික ගිල්ලේ. මං ඒ බව කිව්වේ නැත්තේ මැණික නිසා ඔබ මූව මරයි කියලයි. නමුත් දැන් මූ මැරිලයි ඉන්නේ. දැන් බඩ පලා බලන්න.
  • මැණික්කරුවාගේ ඇඟ කිළිපොලා ගියා. වහාම හිසේ වෙළුම් ලෙහුවා. ලිහිණියාගේ බඩපලා බැලුවා. මැණික තිබුණා.
  • මැණික්කරු තෙරුන්ගේ පාමුල හඬා වැටිලා වැඳ සමාව ඉල්ලුවා. තෙරුන් වහන්සේ සමාව දුන්නා.
  • තෙරුන් වහන්සේ මැණික්කරුගේවත් තමන්ගේවත් වරදක් නැති බවත් සසරේ ස්වභාවය මෙය බවත් පවසා මැණික්කරුට සමාව දුන්න.
  • නැවත තමන්ගෙ නිවසට දානයට වඩින ලෙස මැණික්කරු ඉල්ලා සිටියත් මණිකාරකුළුපග තිස්ස ස්වාමීන් වහන්සේ පවසා සිටියේ “ නෑ… උපාසක, මං අද පටන් කිසිවෙකුගේ ගෙදරක පියස්සක් යටට යන්නේ නෑ. නිවසක් ඇතුළට පිවිසීමේ වරදයි මෙය. මා ගෙමිදුලේ සිටගෙනම පිඬුසිඟා යැපෙනවා.”
  • ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ නිසා රෝගාතුර වුණා. සුළු දිනකින් පිරිනිවන් පෑවා. කොස්වා ලිහිණියා මියගොස් උපන්නේ එම බිරිඳගේ කුසෙහි දරුවෙක් වෙලයි. ටික කලකින් මැණික් කරුවා මියගොස් නිරයේ උපන්නා. බිරිඳ මියගොස් දෙවියන් අතර උපන්නා. මේ සිදුවීම අරභයා අප ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළ සේක.
  • ගබ්භමේකේ උප්පජ්ජන්ති – නිරයං පාපකම්මිනෝ
  • සග්ගං සුගතිනෝ යන්ති – පරිනිබ්බන්ති අනාසවා
  • ලොවෙහි ඇතැමෙක් මේලෙසින් – උපදින්නෝය මව්කුස
  • පව් කරපු උදවිය නම් – වැටී දුක් විඳිති නිරයේ
  • සුගතියෙහි උපදින්නෝ – ලොවෙහි පින් කළ උදවියයි
  • කෙලෙස් රහිතව සිටියෝ – පිරිනිවී යති සුවසේ