සිංහ රාජයෙක්ව ඉපිද පදුම බුදු රඳුන්ට ජීවිතය පුජා කර අපේ බෝසතුන්

stories

අනෝමදස්සී බුදු රජාණන්වහන්සේ පිරිනිවුණු පසු අවුරුදු ලක්ෂයක් වූ මනුෂ්‍ය ආයුෂය ක්‍රමයෙන් පිරිහී අවුරුදු දහය දක්වා අඩු වුණා. පසුව නැවත ක්‍රමයෙන් මනුෂ්‍ය ආයුෂය අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වී එයින් නැවත පිරිහී අවුරුදු ලක්ෂය දක්වා අඩු වුණා. එකල අංගීරස වූ පනස් අට රියනක් උස බුද්ධ ලීලාවෙන් යුතු සිරුරු ඇතිව ‘පදුම’ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වුණා.

පදුම බුදුරජාණන් වහන්සේ පෙරුම් දම් සපුරා තුසිත භවනේ පහළ වී දිව්‍යමය සැප සම්පත් වින්දනය කර එයින් නික්මී චම්පා නගරයෙ රජ කළ අසම නම් රජුගේ රාජ කුලයේ රූපාදියෙන් අසම වුන අසම නම් අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. පසුව ඒ බෝධිසත්වයන් වහන්සේ දස මසක් ඇවෑමෙන් සපු උයනේදි ඉපදුණා.

එම කුමරු උපන් විට සමුදුර කෙළවර කොට ඇති හාත්පස දඹදිවට ම අහසින් නෙළුම් මල් වැස්සක් ඇද හැලුණා. එම නිසා නම් තබන දවසේ නිමිති කියන්නන් හා ඥාතීන් ද ‘මහා පදුම’ යැයි නම් තැබුවා. එම මහා පදුම කුමාර උත්තරා දේවිය ප්‍රමුඛ කොට ඇති තිස්තුන් දහසක් ස්ත්‍රීන් පිරිවරාගෙන නන්‌දුත්‌තර, වසුත්‌තර, යසුත්‌තර යන මහා ප්‍රාසාද තුනෙහි කල්ගෙවමින් වසර දස දහසක් ගිහිගෙයි වාසය කළා.

පසුව සතර පෙර නිමිති දැක ගිහි ගෙය කළකිරුණු බෝධිසත්වයන් වහන්සේ උත්තරා දේවිය, තම පුත් වූ ‘රම්ම කුමරු’ වැදූ දා ආජානීය අශ්ව රථයකින් මහාභිනික්මන් කළා. එලෙස ගිහිගෙය හැර දමා පැවිදිවන දා පිරිවර වශයෙන් එක් කෝටියක් පුරුෂයෝ බෝධිසත්වයන් සමඟම පැවිදි වුණා.

බෝධිසත්වයන් වහන්සේ තමන් හා සමඟම පැවිදි වූ පිරිස පිරිවරාගෙන අට මසක් පධන් වීර්යය වඩා වෙසක් පුර පසළොස්වක් පොහෝ දා ධඤ්ඤවතී නගරයේ සුධඤ්ඤ නම් සිටුහුගේ දියණිය වූ ධඤ්ඤවතී සිටු දියණිය විසින් පූජා කළ මී පැණි මිශ්‍ර කිරි බත වළඳා මී අඹ වනයෙදි දිවා විහරණය කර සවස් කල තිත්ථක ආජීවකයා විසින් දුන් තණ මිටි අට ගෙන මහා සෝණ (තොටිල) බෝධි මූලයට පැමිණ අටතිස් රියනක් පමණ බිම තණමිටි අතුරා එම ආසනයේ පළඟක් බැඳ වැඩහිඳ චතුරංග සමන්වාගත මහා වීර්යය අදිටන් කර මාර සේනාව පරාජය කර තුන්‍ යම් රාත්‍රියෙහි ත්‍රිවිද්‍යා උපදවා සව් කෙළෙසුන් නසා ලොවුතුරා සම්මා සම්බුදු බවට පත්වූහ.

අභිසම්බෝධියත් සමඟින් උපන් සතුට හේතු කොට ගෙන “අනේක ජාති සංසාරං ..” යනුවෙන් උදන් ඇනූ පදුම භාග්‍යවතුන් වහන්සේ සත් සතියක් බෝ මැඩ සමීපයේ කල් යවා ධර්ම දේශනය පිණිස කළ බ්‍රහ්මාරාධනය පිළිගත් සේක.

තමන් වහන්සේ අවබෝධ කරගත් අති ගාම්භීර ධර්මය කවරෙක් හට මුලින්ම දේශනා කරන්නේ දැයි බුද්ධ ඤාණයෙන් බලන විට විට තමන් වහන්සේ හා එකටම පැවිදි වූ කෝටියක් භික්ෂූ පිරිස දැක ඒ ක්ෂණයෙහිම නිලඹරට පැන නැග ධඤ්ඤවතී නගර සමීපයෙහි වූ ධනඤ්ජය උයනට වැඩම කර ඒ කෝටියක් වූ භික්ෂූන් මධ්‍යයේ ධම්සක් පැවැත්වූ සේක.

පසුව පදුම භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ බාල සහෝදර වූ සාල කුමරුත්, උපසාල කුමරුත් ඥාතින් පැවිදි කරවා ඔවුන්ට ධර්මය දේශනා කර අනූකෝටියක් දෙනාට ධර්ම මාර්ගය පෙන්වූවා. කලෙක රම්ම තෙරුන් වහන්සේට ධර්මය දේශනා කළේද එකල්හී තුන්වන වරට අසූ කෝටියක් දෙනා ධර්මාභිසමය ලැබූහ. එකල මනාව වැඩූ ජීවිත ඇති භාවිතත්ත රජු, පදුම බුදුන් වෙත කෝටි ලක්ෂයක් දෙනා පිරිවරාගෙන පැමිණ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූවා.

පසුව පදුම බුදුහිමි උසභව නුවර වස් විසූහ. එවිට ඒ නුවර වැසියන් භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමතිව පැමිණ බණ අසා බොහෝ පිරිසක් පැවිදි වූවා. එකල භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂු පිරිසත්, තවත් භික්ෂූන් තුන් ලක්ෂයක් සමඟ විශුද්ධි පවාරණයෙන් වස් පවාරණය කළහ.

පසුව ගෝසිංහ සාල වනය බඳු උතුම් සුවඳින් යුත් මල් වලින් පිරීගිය රමණීය යෝගානුකූල මහා වනයේ වස් එළඹීහ. එකල ඒ වනයේ වස් විසූ දසබලධාරී තථාගත වූ ධර්මරාජයානන් වහන්සේගේ බුද්ධ සිරිය දුටු මිනිසුන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර පැහැදී ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි වූහ. එකල්හි දෙලක්ෂයක් භික්ෂූන් පිරිවරාගෙන වස් පවාරණය කළහ. එකල තථාගතයන් වහන්සේ ඒ වනයේ වාසය කරනුයේ සත් දිනක් නිරෝධ සමාපත්සුවයෙන් කල් ගෙවූවා.

එකල අප මහා ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සිංහයකු වී එම වනයෙහිම ජීවත් වුනා. නිරෝධ සමාපත්තියට සමවැදුණු භාග්‍යවතුන් වහන්සේ දැක සිත පහන් වී තථාගතයන් වහන්සේට වැඳ ප්‍රදක්ශිනා කර හටගත් ප්‍රීති සෝමනස්සයෙන් තුන්වරක් සිංහ නාද කොට සතියක් පුරාවට බුද්ධාලම්බන ප්‍රීතිය අත නොහැර ප්‍රීතියෙන් යුක්තව ගොදුරු සොයා නොගොස් ජීවිතය බුදුන්ට පූජා කර භාග්‍යවතුන් වහන්සේවම ඇසුරු කර ගනිමින් සත් දිනක් පුරාවට එහිම වාසය කළා.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දිනක් ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිට ශ්‍රේෂ්ඨ පුරුෂ වූ සිංහයා දෙස බලා භික්ෂු සංඝයා ක‍ෙරෙහිද ඔහුගේ චිත්ත ප්‍රසාදය වේවා යි සංඝයා මෙහි පැමිණේවායි සිතූ සේක. භික්ෂූන් එකෙනෙහිම පැමිණියහ. සිංහයා භික්ෂූන් කෙරෙහි සිත පහදවාගත්තා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සිංහයාගේ සිත බලා අනාගතයෙ ගෞතම නමින් ලොව්තුරා සම්බුදු බවට පත්වන්නේ යැයි විවරණ ලබාදුන් සේක.සාල, උපසාල නම් අග්‍ර ශ්‍රාවක දෙනමත් වරුණ නම් අග්‍ර උපස්ථායක තෙරුණ්ද, රාධා සුරාධා යන අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමත් ඇතිව අනන්ත සත්ත්ව ප්‍රජාවකට ධර්මය අවබෝධ කර දෙමින් පදුම බුදුහාමුදුරුවො අවුරුදු ලක්ෂයක් ආයු වළදා පිරිනිවන් පෑ සේක.