භල්ලුකගේ උගුර පසාරු කර දුටු ගැමුණු රජුගේ ජීවිතය බේරු ඵුස්සදේව යෝධයා

stories

දුටුගැමුණු රජතුමාට හිටපු දස මහ යෝධයන් ගැන හැමෝම අහලා ඇතිනේ.එළාර රජු එක්ක ඇති වුණු අවසන් සටනේ දී දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් විශාල සේවාක් කරලා තියෙනවා.අද කතා කරන්නේ විජිතපුර සටනෙන් පස්සේ පැවදිභාවයට පත් වුණු ඵුස්සදේව යෝධයා ගැන.

ඵුස්සදේව ජීවත් වුණේ සිතුල්පව්ව විහාරය අසල තිබුණු ගමක.ධනවත් වංශිකයෙක් වුණු උත්පලගේ පුතෙක් මේ  ඵුස්සදේව.ඵුස නැකතින් ඉපදුණු නිසා මොහු ඵුස්සදේව වුණා.ඔන්න දවසක් හත් හැවිරිදි ඵුස්සදේව  ගමේ පන්සලට ගියපු වෙලාවක විහාරයේ පූජාවකට තියපු හක්ගෙඩියක් දකින්න ලැබුණා. මේ ඵුස්සදේවට හිතුණා මේ හක්ගෙඩිය පිබලා බලන්න. ඒ හක්ගෙඩියෙන් නැගුණු හඬ කොතරම් දැඩිව ඇහුණා ද කිව්වොත් මිනිසුන් පමණක් නොවෙයි කැලයේ සතුන් පවා බයවෙලා දිව්වා. ඇතැම් මිනිස්සු වගේම සත්තුත් සිහි නැතිව ඇදගෙන වැටුණලු. මේ නිසාම මොහු “උන්මාද ඵුස්සදේව ” නමින්  ප්‍රසිද්ධ වුණා.

මොහුගේ දස්කම් ගැන ආරංචි වුණු කාවන්තිස්ස රජතුමා මොහුව සිය සේනාවට බඳවාගනු ලැබුවා.ඵුස්සදේව යෝධයා ලෙස ප්‍රකට වුණු මොහු ධනු ශිල්පය, ශබ්දයට විදීම,හස්ත ශිල්පය ආදී ශිල්ප ගණනාවක දක්ෂයෙකු වුණා. මොහු දුටුගැමුණු  රජුගේ රාජ්‍ය  සේවයේ සිටි රජුට විශ්වාසවන්තම යෝධයා.එළාර කරපු සටනේ දී හක් ගෙඩියෙන් පිඹ ප්‍රතිවාදී සේනා බිය ගන්වා පලවා හැරීමටත් මේ ඵුස්සදේව සමත් වුණ බව කියවෙනවා.

මේ එළාර හා යුද්ධයේ දී එළාර රජුගේ බෑණා ලෙසට විශ්වාස කරන භල්ලුක හා ඇති වූ ගැටුමක් ගැන අපිට අසන්නට ලැබෙනවා. මේ භල්ලුක කියන්නේ ධනු ශිල්පයේ ඉතාම දක්ෂ කෙනෙක්.  දුටුගැමුණු රජතුමා කඩොල් ඇතා සමඟ ඉදිරියට යන්නට උත්සාහ කළත් කඩොල් ඇතු පසුබෑවා.රජු හිඳ සිටියේ කොඩොල් ඇතු පිට නිසා ඒ දුටු සේනාවත් පසුබස්සා. කඩොල් ඇතුගේ පසුබෑමට හේතු විමසූ රජුට ඵුස්සදේව කියන්නේ මෙය ජය බිමක් නොවන නිසා ඇතා පසුබසින බවත් ජයබිමක් හමු වූ වහාම ඇතු නතර වන බවත්. ඒ අනුව මහා විහාර සීමාව අසල ඇතු නතර වුණු බවයි කියවෙන්නේ. ඵුස්සදේවගේ සහ භල්ලුකගේ ගැටුම ඇරඹෙන්නේ මේ අවස්ථාවේ දී.

භල්ලුක ගැමුණු රජුගේ මුඛයට ඊතලයෙන් විදීමට සූදානම්ව රජුගෙන් ප්‍රශ්න කීපයක් විමසුවා . ඒත් රජු ඒ සඳහා පිළිතුරු දී තියෙන්නේ කඩුපතින් මුව වසාගෙනයි. එවිට භල්ලුක විදි හීය කඩුවේ වැදී බිමට වැටුණු අතර එවිට ගැමුණු රජු කටේ තිබුණු බුලත් විට බිමට දැම්මා. මේක දැකපු භල්ලුක වැරදි වැටහීමක් ඇති කරගත්තා.තමන්ගේ ඉලක්කය සම්පූර්ණ වුණා කියලා. ඔහුගේ පිරිස් ඔල්වරසන් දුන්නා. එය දැකපු ඵුස්සදේවට කේන්ති ඇවිත් භල්ලුකගේ මුඛයට හීයකින් විද්දා.එය භල්ලුකගේ උගුර පසාරු කරගෙන එහා කොණින් මතුවුණු බව කියවෙනවා. ඒත් ඒ හීය පියඹා ගියේ දුටුගැමුණු රජුගේ දකුණු කුණ්ඩලාභරණයේ වැදී එය කඩතොළු කරමින්. ඒ නිසා ඵුස්සදේව මහත් කම්පනයට පත්වුණු නිසා ඒ ශෝකයට ඔහු තමාගේම කන්වැල සූරා ලේ ගෙන රජුට පෙන්වුවා .

එයට හේතු විමසූ රජු මලණුවනි යනුවෙන් ඵුස්සදේවයන් අමතා මෙසේ ප්‍රකාශ කළා “ ඔබ නිදොස දොසක් කොට ගෙන ඇත්තේ කුමට ද ඔබ මගේ දිවි බේරාගත්තේ බොහෝ කාලයකට පෙරයි. වරක් දඟ අශ්වයෙකු පිට මා වැටෙන්නට ගිය විට ඌ ඔබ හීලෑ කරගෙන ම බේරාගත්තා “ ඉතින් මේ විදියට කියපු රජතුමා ඵුස්සද්වගේ කිසිදු වරදක් නැති බවත් පෙන්වා දුන්නා. ඉන්පසු රජු භල්ලුකට විදි හීය රැගෙන එන ලෙස සේවකයෙකුට නියෝග කර  විත් ඍජුව සිටුවා ඒ හීය වැසෙන තෙක් කහවුණු වගුරවා ඒ කහවණු කන්ද යෝධයාට පරිත්‍යාග කළ බව සඳහන්.

මෙ පුවත හා සම්බන්ධ තවත් සිදුවීමක් තමයි භල්ලුකට හීයෙන් විදි අවස්ථාවේ භල්ලුක වැටුණේ ගැමුණු රජු දෙසට පා සිටින සේ බැවින් එය රජුට අගෞරවයක් ලෙසට සිතූ ඵුස්සදේව නැවත භල්ලුකගේ හිස ගැමුණු රජු දෙසට වන පරිදි භල්ලුකගේ පාදයට හීයෙන් විදීම.කොහොම වුණත් රජුට ගෞරවයක් නොවන්නට රජුගේ විශ්වාසය දිනාගෙන හිටපු යෝධයෙක් විදියට ඵුස්සදේව හඳුන්වන්න පුළුවන්.   

මේ යුද්ධයෙන් ජය ලැබුණට පස්සේ දුටුගැමුණු රජතුමා ඵුස්සදේව යෝධයාට ඇඹිලිපිටිය පල්ලේබැද්ද  ප්‍රදේශයෙන්  අක්කර 12000 ක භූමි ප්‍රමාණයක් ගම්වරයක් ලෙස ලබා දී තියෙනවා. එකල රජවරු තමන්ට වගේම රටට කරන සේවාවන්ට මේවගේ ගම්වර ,නම්බු නාම සම්මාන විදියට දෙනු ලැබුවා.ඔහුට ලැබුණු ගම්වරය පිළිගත් ඵුස්සදේව තමන්ගේ හිතවතුන් සමඟ එහි පදිංචියට පැමිණ ගම්මානයක් ගොඩ නගා ගෙන තියෙනවා.

ඒ නිසා ඵුස්සදේවටලැබුණු මේ ප්‍රදේශයේ ඔහු සංඛපාල නම් විහාරය ඉදි කරනු ලැබුවා. මේ විහාරයේ දැකි හැකි සෙල්ලිපි අතුරින් බෝහෝමයක් විනාශ වී ඇති නමුත් ඒ සෙල්ලිපිවලත් මේ ඵුස්සදේවගේ ලෙන මහා සංඝයාට පූජා කළ බව සඳහන්.එළාර හා යුද්ධයේ දී අඬහැර පෑ ඒ වටිනා හක්ගෙඩිය නැත්නම් සංඛය මේ සංඛපාල විහාරයේ කඳු මුදුනේ තැන්පත් කර ඇති බව ජනප්‍රවාදයේ කියවෙනවා.එවගේම මේ විහාරස්ථානයේ පැරණි ශිලා ලේඛනවලට වම්පසින් ඇති කටාරම් ලකුණු යට මෙවැනි හක්ගෙඩියක සලකුණක් ද සටහන් කර තිබෙනු දකින්නට හැකියි.

බොහෝ අයගේ අදහස වන්නේ මේ පල්ලේබැද්ද ආශ්‍රිත ප්‍රදේශය ඵුස්සදේව වාසය කරන ලද ප්‍රදේශය බවටයි.කොහොමවුණත් ඵුස්සදේව අවසානයේ පැවදි වී යෝගාචර භික්ෂූන් වහන්සේ කෙනෙක් විදියට භාවනායෝගීව වැඩ සිටි බව කියවෙනවා. පසුව විදසුන් වඩා රහත් බවට පත්වුණු බව ඓතිහාසික මූශ්‍රවලත් සඳහන් වෙනවා. මේ ඵුස්සදේව තෙරුණ් වහන්සේ ආදාහනය කර සාදන ස්ථූපය යැයි සලකන දාගැබක නටබුන් ද මේ විහාරය ආසන්නයේ විශාල ගල් තලාවක අදටත් දකින්නට ලැබෙනවා. අද මේ ස්ථානය ඵුස්සදේව සොහොන නමින් හඳුන්වනවා. අද වන විට මේ ස්ථානය නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව විනාශ වී ඇති ආකාරය දකින්න පුළුවන්. ඇඹිලිපිටිය ප්‍රදේශයට අවොත් ඵුස්සදේව රහතන් වහන්සේ සංඝයා වෙනුවෙන් පූජා කරපු සංඛපාල විහාරය වදින්නත්  අමතක කරන්නෙපා.