*අවවාදයයි: මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුණුවලින් ඇතැම් පාඨකයින්ට කම්පනයක් ඇතිවිය හැකි ය. 

 ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය අද (සැප්. 21) සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණයේදී අවසන් වූ අතර, එහි තීන්දුව මෙම මස 28 වෙනිදා ප්‍රකාශ කිරීමට නියමිත ය. එම චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගය අද දිනයේ දී සිව්වන දිනයටත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි. 

 එහිදී රජයේ අධිචෝදකවරිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ධනුෂ්ක ගුණතිලක මෙම සිද්ධියට පෙර සිටම ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්වූ තරුණිය දිගින් දිගට ම හඹාගොස් ඇතිබව පවසා සිටියාය.

අදාළ තරුණිය විසින් ඔප්පු කළ නොහැකි "කතාවක්" නිර්මාණය කර ඇති බව එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කර ඇත.

නඩු විභාගයේ සිව්වැනි දිනය

පැමිණිල්ලේ දේශනය සිදුකරමින්, ලිංගික හැසිරීම "ඇය බලාපොරොත්තු වූ හෝ ඇයට අවශ්‍යවූ දේට වඩා බෙහෙවින් වෙනස් වූ" බව රජයේ අධිචෝදක ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් විනිසුරුවරයාට පැවසුවේ ය. එම අවස්තාව රළු බව ත්, චූදිතයා විසින් තරුණියගේ කිසිදු ඉල්ලීමකට හෝ සීමාවකට ගරු නොකළ බව ත් එහිදී වැඩිදුරටත් පැවසූ රජයේ අධිචෝදකවරිය, "ඇගේ පැහැදිලි කැමැත්ත" නොතකා කොන්ඩමය ඉවත්කරනු ඇති තැනැත්තෙකුගේ හැසිරීමට ඔහුගේ හැසිරීම "හොඳින් ගැලපෙන" බව ද තර්ක කළා ය. 

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ තරුණිය හමුවීමට පෙර අන්තර්ජාලය ඔස්සේ ඔවුන් පැවැත්වූ සම්බන්ධකම ගැන ද අභිචෝදකවරිය විසින් කරුණු දක්වා තිබුණි. එහිදී ඔහු මුණ ගැසීම සඳහා බ්‍රිස්බේන් වෙත පැමිණීමට අදාළ තරුණිය වෙත ගුවන් ප්‍රවේශපත්‍රයක් සඳහා මුදල් ගෙවීමට ධනුෂ්ක ගුණතිලක උත්සහ කළත්, ඇය එය ප්‍රතික්ෂේප කළ බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය. තරුණියගේ නිදන කාමරයේ දී ලිංගිකව එක්විමේ දී ආරක්ෂක උපක්‍රම භාවිතාව සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවති බවත්, එහිදී ධනුෂ්ක ගුණතිලක ඔහු කොන්ඩම් භාවිතා කිරීමට අකමැති නොවන බවට අදහස් දක්වා ඇති බවත් අභිචෝදකවරිය පැවසීය. ක්‍රිකට් ක්‍රීඩකයා කොන්ඩමය ඉවත් කරනු තරුණිය දැක නැතැ යි ද, නමුත් ලිංගික සංසර්ගයෙන් පසු එය බිම දමා තිබෙනු ඇය දැක ඇතැ යි ද මීට පෙර අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කෙරිණි. තරුණිය සැනසීම සඳහා ගුණතිලක පළමුව කොන්ඩමය පළඳිනු ලැබුව ද, ඔහුට එය ඉවත් කිරීමට ඕනෑම අවස්ථාවක දී හැකියාව පැවති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ අභිචෝදකවරිය ප්‍රකාශ කළා ය. 

ඔහු කොන්ඩමය ඉවත් කරනු ඇය නොදැකීමට හේතු වන්නට ඇත්තේ, එම ලිංගික එක්වීම ඉතා අප්‍රසන්න වූ බැවින් එම කාලසීමාවේ දී ඇය ඒ පිළිබඳ අවධානයකින් පසුනොවීම බව අභිචෝදකවරිය පවසා ඇත. පටිගත කරන ලද පොලිස් සම්මුඛ සාකච්ඡාවේ දී මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරණ ක්‍රිකට් ක්‍රීඩකයා, ඔහු කොන්ඩම දෙකක් පැළඳි බවත්, පළමු කොන්ඩමය නිසි පරිදි ක්‍රියා නොකළ නිසා එහි කොන්ඩම් දෙකක් තිබූ බව ත් විමර්ශකයින්ට පැවසීය. මේ දෙවන කොන්ඩමයේ ප්‍රකාශය "හිතාමතා සිදුකළ අසත්‍ය" ප්‍රකාශයක් බව අභිචෝදකවරිය පවසයි. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතීඥ මුරුගන් තංගරාජ්, කාන්තාවගේ ස්ථාවරය "කාලයත් සමග වෙනස් වී ඇති" බවත්, විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඇය අසත්‍යය සහ ඇයට වාසි අත්වන ස්වයං සාක්ෂි ලබා දී ඇති බවත් පැවසුවේ ය. "පොලිසිය හමුවේ දී, කොන්ඩමය ගැලවී ගිය බවට ඇය කළ ප්‍රකාශය හා ඇය වෙනත් පුද්ගලයින් සමග ඒ සමග සැකයක් පමණක් මතුකිරීම එකිනෙකට පරස්පර" බව පැවසූ නීතිඥවරයා, එම තරුණිය ඇගේ මිතුරන් දෙදෙනෙක් සමග කර ඇති සංවාද පිළිබඳව මෙහිදී කරුණු ඉස්මතු කළේ ය. කාන්තාවට තමා පවසන කතාවට ගැලපෙන ලෙස කරුණු දැක්වීමට නොහැකි වී ඇති බව නීතිඥ තංගරාජ් පැවසුවේ ය. 

ඔවුන් දෙදෙනාගේ අන්තර්ජාල කතාබහ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, වෙනත් රාත්‍රියක දී ක්‍රීඩකයා තරගයකින් පසු ඔහු වෙහෙසට පත්ව සිටි බවත්, එම කාන්තාව එම රාත්‍රියේ දී හමුවීමට නොහැකි බවත් එක් අවස්ථාවක කියා ඇතිබව පැවසූ නීතිඥ තංගරාජ්, "ඔහු තරුණිය හඹාගොස් ඇති බවට රජයේ අභිචෝදකයින් කරන චෝදනාවට මෙය නොගැලපෙන" බව ද කියා සිටියේ ය. සේවාදායකයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව අවධාරණය කළ ඔහු, හුස්ම හිරකිරීම වැනි දෘශ්‍යමාන තුවාල ඇති කරන ආකාරයේ හැසිරීම් සිදුකර අවධානමක් ගන්නේ මන්දැ යි ප්‍රශ්න කළේ ය. මෙම කාන්තාව ඇගේ නිවසට යන ගමනට පෙර සිදු වූ දේ සහ ඇගේ සෝපාව මත දී ඇයව ග්‍රහණයට ගත් බව වන ප්‍රකාශයන් හරහා "ආක්‍රමණශීලි හැසිරීමක් ගැන කතාවක්" නිර්මාණය කළබව නීතිඥ තංගරාජ් පැවසුවේ ය. මෙම නඩුව විභාග කිරීම අදින් අවසන් වූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන බ්‍රහස්පතින්දා (සැප් 28) සිදුකිරීමට නියමිත ය.

නඩු විභාගයේ තෙවැනි දිනය

අධිකරණයේදී පෙර පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණි. එහිදී, ඔවුන් දෙදෙනා තරුණියගේ සෝපාව මත සිප ගැනීමට පටන්ගත් බවත් පසුව ඇගේ නිදන කාමරයේ ලිංගිකව හැසිරුණු බවත් ගුණතිලක පොලිසියට පවසා ඇත.

ඔහුට ලිංගික අතවර චෝදනා කළ තරුණිය පෙර ආත්මයේ දී එකිනෙකා දැන හඳුනාගැනීමක් ගැන කතා කිරීමෙන් පසු එය "ටිකක් අමුතුයැ"යි සිතූ බවත්, ඔහුට බියක්ද දැනුණු බවත් ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබේ.

ඉන්පසු ඔවුන් සිදුකළ අධ්‍යාත්මිකත්වය පිළිබඳ සංවාදයක් ධනුෂ්ක ගුණතිලක විස්තර කළ අතර, එම කාන්තාවට අතීත ජීවිත දැකිය හැකියැ යි ඔහුට පැවසූ බව ද ක්‍රීඩකයා සඳහන්කර ඇත.

අද අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ පටයේ, ක්‍රිකට් ක්‍රීඩකයා හඬා වැලපෙමින්, ටිෂු කඩදාසිවලින් ඔහුගේ මුහුණ පිසදමමින්, එම සංවාදය සිත්ගන්නාසුළුයැ යි ඔහු සිතූ බවත් කාන්තාව ශ්‍රී ලංකා සංස්කෘතිය සහ බුදුදහම ගැන දන්නා බව සිතූ බවත් පොලිසියට පවසයි.

එම අවස්ථාවේ දී ඔහු සිනාසෙමින් පෙර ආත්මයක ඔහු කවුදැ යි තරුණියගෙන් විමසූ බව හා එහිදී ඇය පිළිතුරු දෙමින් ඔවුන් දෙදෙනා අසල්වැසියන් බව පැවසීයැ යි ක්‍රීඩකයා ප්‍රකාශ කළේ ය.

"'අපි ඉපදුනේ තායිලන්තයේ. අප දෙදෙනා අසල්වැසියෝ. එයාට ඒක පේනවා,' කියලා ඇය සඳහන් කළා," ඔහු පවසයි.

එහිදී ඔහු බිය වූ බව ධනුෂ්ක ගුණතිලක පොලිසියට පවසා ඇත.


ඇයි කියලා මම දන්නේ නැහැ, මට ඒ හැඟීම ඇති වුණා," ධනුෂ්ක ගුණතිලක එලෙස පවසා තිබුණේ ය. "ඒ වගේම මම හිතුවේ ඇය ටිකක් අමුතුයි කියලා." පසුව එම කාන්තාව ඔහුට කුලී රථයක් සූදානම් කළ බවත්, ඔහු පිටත්ව යාමට පෙර සූදානම් වී දෙදෙනා සිපගත් බවත් ධනුෂ්ක ගුණතිලක පවසා තිබේ. 

 පැමිණිලිකාරිය සඳුදා සාක්කි දුන් විට, පෙර ජීවිත පිළිබඳ මාතෘකාව මුලින්ම මතු කළේ තමායැ යි වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා ය. හරස් ප්‍රශ්න කිරීම් යටතේ ඇය එය "පුද්ගලික සහ සමීප" සාකච්ඡාවක් බව ප්‍රතික්ෂේප කළ අතර, ඇය විසින් පොලිසියට කළ වාර්තාවලින් එය හිතාමතා ඉවත් කළබව ප්‍රකාශ කළාය. ක්‍රිකට් ක්‍රීඩකයාට ඇසීමට අවශ්‍ය දේ ඔහුට පැවසීම සඳහා ඇය "කතාවක්" ගෙතූ බව පැමිණිලිකාරිය පැවසුවා ය. ලිංගික අතවරයට ලක්වූ බව කියන සිද්ධියේ පළමු වාර්තාව ලබාගත් පොලිස් නිලධාරිනියක් ඇගේ සේවා මුරය අවසන් වූ පසු ඉවත දැමූ පරණ කඩදාසිවල සටහන් ලියා තැබූ බව මීට පෙර අධිකරණය හමුවේ සඳහන් විය. රෝස් බේහි පොලිසියට ලද පළමු ඇමතුමට කොස්තාපල් කත්‍රිනා ලැකර්ඩිස් පිළිතුරු දී ඇති අතර, එම අවස්ථාවේ දී පැමිණිලිකාර තරුණිය ඇය ලිංගික අතවරයකට ලක් වූ බවට සඳහන් කර තිබේ. 

 ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතීඥ මුරුගන් තංගරාජ් විසින් නගන ලද හරස් ප්‍රශ්න කිරීම් යටතේ, කොස්තාපල් ලැකර්ඩිස් ඇය සටහන් තැබූ ආකාරය පිළිබඳව සඳහන් කරන ලදී. “ඔබ මේ සටහන් කළේ පරණ කඩදාසිවල,” ඔහු පැවසුවේ ය. "ඒවා තමයි මගේ ඉස්සරහා තිබුණේ" කොස්තාපල් ලැකර්ඩිස් පැවසීය. "ඔබ පරණ කඩදාසි කෑලි එළියට විසි කළා?" නීතිඥ තංගරාජ් අසා සිටියේ ය. "මම එසේ සිදු නොකළ යුතුව තිබූ නමුත් මම එය කළා," කොස්තාපල් ලැකර්ඩිස් පිළිතුරු දෙමින් පවසා සිටියා ය. එම පොලිස් නිලධාරිනිය ඇගේ සගයකුට යැවීමට පැමිණිල්ල සටහන් කළ කඩදාසි කැබලිවල ඡායාරූප ගත් නමුත්, ඒවායින් ඇතැම් ඡායාරූප මකා දමා ඇති බව අධිකරණයේ දී ප්‍රකාශ විය. කොස්තාපල් ලැකර්ඩිස් එය "වැරදීමක්" බව පිළිගත්‍තා ය. "ඔබ කවද්ද ඒවා ඉවත් කළේ?" විත්තියේ නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ය. 

 "බොහෝ විට මගේ වැඩ මුරය අවසන් වන විට විය හැකියි," කොස්තාපල් ලැකර්ඩිස් පිළිතුරු දෙමින් පැවසීය. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තංගරාජ් යෝජනා කරමින් පවසා සිටියේ පොලිස් ක්‍රියා පටිපාටිය නිල සටහන් පොතක සටහන් කළ යුතු බව යි. කොස්තාපල් ලැකර්ඩිස් මෙහිදී ඇය "ඉතා මැනවින්" ඇගේ සටහන් පොත භාවිතා කරන බවත්, මෙහිදී ඇගේ ප්‍රමුඛතාවය වූයේ පැමිණිල්ල ගැන නිවැරදි හා තත්‍යකාලීන වාර්තාවක් තැබීම බවත් පැවසුවා ය. පැමිණිල්ල ලියූ කඩදාසිය බැහැර කිරීමට පෙර ඇය ඡායාරූප පරීක්ෂා නොකළේ මන්දැ යි ඇසූ විට, පොලිස් ස්ථානයේ සේවය කිරීම "අධි පීඩන පරිසරයක්" බවත්, එම තත්ත්වයන් තුළ තමාට හැකි උපරිමය කළ බවත් ඇය පැවසුවා ය. 

 ලිංගික අතවරයට ලක්වූ තරුණියගේ මිතුරන් දෙදෙනෙකු සිද්ධියෙන් පසු දිනවල දී ඇය ඔවුන් වෙත සිදුකළ ප්‍රකාශ පිළිබඳව අද අධිකරණය හමුවේ තොරතුරු වාර්තා කර තිබුණි. සිද්ධියට මුහුණ දුන් තරුණිය හෝ ඇගේ මිතුරියන්ගේ අනන්‍යතාව අධිකරණය හමුවේ හෙළි නොකරන ලදී. නඩු විභාගයේ දෙවැනි දිනය අපයෝජනය වූ බව කියන කාන්තාව ධනුෂ්ක ගුණතිලක මුණගැසුණු විට ඔහුගෙන් “ඇත්තටම ආදරණිය බවක් පෙනුන” බවත්, “ලිංගිකව හැසිරීමට පටන් ගත් විට ඔහු වෙනසක් සිදුවී ඔහු රළු වූවා”යි පැවසූ බවත්, අපයෝජනය වූ බව කියන කාන්තාවගේ මිතුරියක පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව තිබී ඇත. ක්‍රිකට් ක්‍රීඩකයා "මාව පහතට තල්ලු කර මා මතට පැමිණියා. මම ඇත්තටම බය වුණා, ඒ නිසා මම ඔහු සමග ලිංගිකව හැසිරුණා"යි මිතුරිය [අපයෝජනය වූ බව කියන කාන්තාව] ඇයට පැවසූ ආකාරය ඇය එහි දී සඳහන් කර තිබුණා ය. 

 ක්‍රීකට් ක්‍රීඩක ධනුෂ්ක කොන්ඩමය ඉවත් කළ බව සිතුනේ කුමක් නිසාදැ යි තමන් මිතුරිය ගෙන් විමසූ විට, ඇයට ඒ ගැන "හැඟීමක්" ඇතිවූ බවත්, ඔවුන් ලිංගිකව එක්වීම අවසන් වූ පසු එය බිම තිබෙන දුටු බවත් ඇය පැවසූබව මේ මිතුරු කාන්තාව පවසයි. ඒ අවස්ථාවේ පැමිණිලිකාරිය හඬමින් සිටි බවත්, තමන් පොලිසියට යා යුතුදැ යි විශ්වාස නැති නමුත් ක්‍රිකට් ක්‍රීඩිකයා රට හැරයෑමට නියමිත බැවින් ඉක්මනින් එය කළ යුතු බව දන්නා බවත් ඇය පැවසූ බව එහිදී මිතුරු කාන්තාව සඳහන් කර තිබුණි. 

 සාක්‍ෂි දීමට කැඳවූ දෙවැනි මිතුරිය පොලිසියට ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ ධනුෂ්ක ගුණතිලක කාන්තාව හා ඇගේ නිවසට යන ෆෙරි යාත්‍රාවේ ගමන් කරමින් සිටිය දී “ආක්‍රමණශීලී” වූ බව පැමිණිලිකාරිය ඇයට පැවසූ බව යි. ලිංගික එක්වීමේ දී ආරක්‍ෂාව සඳහා කොන්ඩමය පළඳින ලෙස ධනුෂ්ක ගුණතිලකට ඒත්තු ගැන්වීමට ඇයට සිදුවූ බවත්, “අපි නිදන කාමරයට ඇතුළු වූ පසු ඔහු සතෙකු හෝ වෙනත් පුද්ගලයෙකු බවට පත් වූවාක් මෙන්" හැසිරුණායැ යි පැමිණිලිකාරිය පැවසූ බවත් දෙවැනි සාක්ෂිකාරිය ඇගේ ප්‍රකාශයේ දී පොලිසියට පවසා තිබේ. තමාගේ ජීවිතය ගැන බියෙන් පසුවන බවත්, සංසර්ගයේ දී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාගේ ගෙල තෙවරක් සිර කළ බවත් පැමිණිලිකාරිය ඊයේ විනිසුරුවරයාට සිය සාක්ෂියේ දී ප්‍රකාශ කළා ය. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥ මුරුගන් තංගරාජ් මෙහිදී පැමිණිලිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසුවේ ය. ඇගේ පොලිස් ප්‍රකාශයේ දී "ඩැනී" ලෙස හැඳින්වූ තම සේවාදායකයා කොන්ඩමය ඉවත් කළේ කෙසේදැ යි මෙහිදී නීතිඥවරයා ඇගෙන් ප්‍රශ්න කළේ ය. 

 ඇය තරයේ කියා සිටියේ "ඒ සඳහා ඔහුට ගතවන්නේ තත්පර කිහිපයක් පමණි" යනුවෙනි. "කිසිම අවස්ථාවක (ප්‍රකාශයේ) ඔබ ලිංගික හැසිරීම තත්පර කිහිපයකට නතර වූ බව නොකියයි, ඔබ එයට එකඟ ද?" නීතිඥ තංගරාජ් එහිදී ඇයගෙන් විමසා සිටියේය. "මම ඒකට එකඟ යි," ඇය පිළිතුරු දුන්නා ය. අනතුරුව, "ඔබේ පළමු ප්‍රකාශයේ විස්තර කර ඇති ආකාරයට ඩැනීට කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොතිබුණි. ඔබ එයට එකඟද?" නිතිඥවරයා ඇයගෙන් විමසා සිටියේ ය. "නැහැ, මම ඒකට එකඟ නැහැ," යනුවෙන් එහිදී ඇය පැවසුවා ය. 

 කිසිම අවස්ථාවක ධනුෂ්ක ගුණතිලක කොන්ඩමය බිමට විසිකිරීම හෝ එම ක්‍රියාවට අනුකූල වන අයුරින් ඔහුගේ අත සෙලවීම තමා දුටුවේ හෝ දැනුනේ නැති බව පැමිණිලිකාරිය එහිදී කියා සිටියා ය. මෙම නඩු විභාගය බ්‍රහස්පතින්දා අවසන්වීමට නියමිත බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ. නඩු විභාගයේ පළමු දිනය නැගෙනහිර සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය ඉදිරියේ සැප්තැම්බර් 18 දා ආරම්භ වූ නඩු විභාගයට සාක්ෂි ලබාදීම සඳහා අපයෝජනයට ලක්වූ බවට පැවසෙන තරුණිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටි බව සිඩ්නි මෝර්නින් හැරල් වෙබ් අඩවිය වාර්තාකර ඇත. 

 ධනුෂ්ක ගුණතිලක ද නඩු විභාගය සඳහා පැමිණ සිටිබව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී එම තරුණියගේ අනන්‍යතාව මාධ්‍ය විසින් හෙළි නොකළ අතර, සාක්ෂි ලබා දෙමින් ඇය පවසා සිටියේ ධනුෂ්ක ගුණතිලක ඇගේ කැමැත්තෙන් තොරව උපත් පාලන කොපුවක් නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදුණු බවත්, ඇයට ඇගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් ද ඇතිවූ බවත් ය. 

 ඇය ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 29 වෙනිදා ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ ධනුෂ්ක ගුණතිලක හඳුනාගත් බව හා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන වග පැවසූ බව ද ඇය සාක්ෂි දෙමින් පැවසුවා ය. ඇය ඇගේ මිතුරන් සමග සිඩ්නිහි ඔපෙරා බාර් බීම හළේ සිටින විට ධනුෂ්ක ගුණතිලක පැමිණි බව ද, පසුව ඔවුන් දෙදෙනා පීසා අවන්හලකට ගොස් රාත්‍රී ආහාර ගනු ලැබූ බව ද ඇය පැවසුවා ය. "එතන හරිම ඝෝෂාකාරී නිසා මට ගෙදර යන්න අවශ්‍ය වුණා. ඔහු මට යෝජනා කළා මත්පැන් මිල දී ගෙන මාගේ නවාතැනට යමු කියලා," තරුණිය පවසා සිටියා ය. එහිදී පොලිසිය විසින් අධිකරණය ඉදිරියේ ඔවුන් දෙදෙනා රැඳී සිටි ස්ථාන දැක්වෙන CCTV දර්ශන පෙන්නුම් කරන ලදී. 

 මේ අතර ෆෙරි යාත්‍රාවේ දී දෙදෙනා සිප ගන්නා CCTV වීඩියෝවක් ද අධිකරණය හමුවේ පෙන්වන ලද අතර, ධනුෂ්ක ඇය බලෙන් සිප ගත් බව තරුණිය ප්‍රකාශ කර සිටියාය.

නඩු විභාගය සඳහා ධනුෂ්ක ගුණතිලක පැමිණ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කොට තිබු අයුරු


'ඔහු මාව බලෙන් සිප වැළඳ ගත්තා'
ඇගේ නිවසට පැමිණි පසු ඔවුන් දෙදෙනා වයින් වීදුරු දෙකක් පානය කරමින් ආලින්දයේ සිටිය දී ද ධනුෂ්ක ගුණතිලක ඇය බලෙන් සිප වැළඳගත් බව තරුණිය මෙහිදී අධිකරණය හමුවේ පවසා සිටියා ය.
"සෑම දෙයක්ම වේගයෙන් සිදුවෙන නිසා එය මට එතරම් සුවපහසු වාතාවරණයක් ලෙස හැඟුනේ නැහැ," ඇය පැවසුවා ය.

ආලින්දයේ රැඳී සිටියදී ධනුෂ්ක ඇය හැඳ සිටි ඇඳුම් ඉවත් කළ බවත්, එය පොදු ස්ථානයක් බැවින් නිදන කාමරයට යමුයැ යි ඇය යෝජනා කළ බවත් එම තරුණිය පැවසුවා ය.
මෙහිදී ධනුෂ්ක ගුණතිලක විසින් ඇගේ කැමැත්තෙන් තොරව මුඛ ලිංගික ක්‍රියාවලියක නිරතවූ බව හා එහිදී ඇය අපහසුතාවයට පත්වූ බව ඇය පවසා තිබේ.

ඇය "කොන්ඩමයක් භාවිතා කළ යුතුයැ"යි එහිදී පැවසූ බව සාක්ෂි දෙමින් පැවසුවා ය. "එහිදී ධනුෂ්ක පැවසුවා 'මට කොන්ඩම් භාවිතා කරන්න අවශ්‍ය නැහැ. මම කොන්ඩම්වලට කැමති නැහැ' කියලා," ඇය කියා සිටියි.
කෙසේ වුවත්, ඇය සතුවූ කොන්ඩමයක් ලබාදීමෙන් පසු ඔහු අකමැත්තෙන් එය පැළඳ ලිංගික ක්‍රියාවලියට යොමුවූ බව ඇය සාක්ෂි දෙමින් පවසා සිටියා ය.

'මට මගේ ජීවිතය ගැන බියක් ඇතිවුණා'

කොන්ඩමය පැලඳ ධනුෂ්ක ගුණතිලක තමන් හා බලහත්කාරයෙන් මිනිත්තු 15ක පමණ කාලයක් ලිංගිකව එක්වූ බවත්, එහිදී තත්ත්පර 20 සිට 30 දක්වා අවස්ථා තුනකදී හුස්ම සිර කළ බව ද ඇය අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියා ය.

"මට මතකයි මගේ බෙල්ලේ තිබු ඔහුගේ අත ඉවත් කිරීමට මම උත්සහ කරනවා. මේ අවස්ථාවේ දී මගේ ජීවිතය ගැන මට බියක් ඇතිවුණා," ඇය පැවසුවා ය.
"මම ඔහුට පැවසුවා ටිකක් වේගය අඩු කරන්න කියා. නමුත් ඔහු වේගය අඩු කළේවත් මට ප්‍රතිචාර දැක්වුවෙවත් නැහැ."

ලිංගික සංසර්ග ක්‍රියාවලිය අවසන් වී තත්ත්පර කිහිපයකට පසුව කොන්ඩමය බිම වැටී තිබෙන අයුරු ඇය දුටු බව තරුණිය විසින් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසුවා ය.
'පැමිණිලිකාරිය කැමතිව තිබුණේ ආරක්‍ෂිත ලිංගික එක්වීමට පමණයි'

නඩු විභාගයේ ප්‍රධානතම ප්‍රශ්නය වූයේ ධනුෂ්ක ගුණතිලක ලිංගික සංසර්ගයේ දී "පැමිණිලිකාරියගේ අනුදැනුමකින් තොරව කොන්ඩමය ඉවත් කළේ ද යන්න ගැන" බව අධිචෝදක ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් අධිකරණය හමුවේ පැවසුවේ ය.
"පැමිණිලිකරු ආරක්ෂිත ලිංගික ක්‍රියාවලියකට පමණක් එකඟවී තිබෙනවා," අධිචෝදකවරයා කියා සිටියේ ය.
"පළිගනීවියැ යි ඇතිවූ බිය නිසා" කොන්ඩමය සම්බන්ධයෙන් කිසිවක් පැවසීමට ආරක්ෂිත නොවන බවට අදාළ තරුණියට හැඟී තිබූ බව එහිදී නීතිඥවරිය පැවසුවා ය.
'පැමිණිල්ල එය ඔප්පු කළ යුතුයි'

මේ අතර, ඔහුගේ සේවාදායකයා වන ධනුෂ්ක ගුණතිලක "හිතාමතාම ඇගේ කැමැත්තට පටහැනිව කොන්ඩමය ඉවත් කළ බව" පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු බව ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුරුගන් තංගරාජ් අධිකරණය හමුවේ කියා සිටියේ ය.

තම සේවාදායකයා ඔහුගේ දුරකථනය අගුළු හැරීම (අන්ලොක් කර දීම), වරෙන්තුවක් නොමැතිව ඔහුගේ හෝටල් කාමරය සහ බඩු බාහිරාදිය පරික්ෂා කිරීමට ඉඩ දීම ඇතුළුව පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කළ බවත් ඔහු එහිදී පෙන්වා දෙන ලදී.

එමෙන්ම පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ බවත්, එහිදී ඔහු “කොන්ඩම් නොමැතිව ඍජු ලිංගික සංසර්ගයේ යෙදීම තරයේ ප්‍රතික්ෂේප කළ” බවත් නීතිඥ තංගරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
ඕස්ට්‍රේලියාවේ දී සිදුවූයේ කුමක්ද?

ඉකුත් වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එම පැමිණිල්ල අපයෝජනයට ලක් වූ තරුණිය විසින්ම සිදුකර තිබූ අතර, සිඩ්නි පොලිසිය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස හයවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළ දී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක ඉකුත් නොවැම්බර් මස 17 වෙනිදා දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

ධනුෂ්ක ගුණතිලක: චෝදනා 4 න් 3ක් ඉවතට


ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේ දී එරට රජයේ නීතිඥයින් විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලකර තිබූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් චෝදනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී.

එසේ වුව ද, කාන්තාවගේ කැමැත්තකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරතවීම සම්බන්ධයෙන් චෝදනාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබේ.

එම චෝදනාවට ඔහු නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ කෙරුණි.





Loading...

Post a Comment

Powered by Blogger.